ජාතික ගීය ගයන්නට එක දරුකැළක් මෙන් එක්වී ඊළගට අනෙකාට අංචියක් ඇදීමට කදවුරට සෙට් වීම

Posted on November 30, 2009



ජාතික ගීය තවමත් බොහෝ ආයතනවල උදේ පාන්දර ප‍්‍රචාරය වෙයි.  එහි එක් රසවත් පද වැලකින් කියවෙන්නේ භේද දුරැරලා එක මවකගෙ දරුකැලක් මෙන් එක්වන ලෙස ය.

එය ඇසෙන විට ඇතිවන්නේ දුකකි. උදේ හවස අපට අසන්නට ලැබෙන්නේ භේද ඇතිකිරීමෙ වෛරය වැපිරවීමෙ පුවත් විමසුම් ය. රජයේ මාධ්‍ය මෙන්ම රජයට කඹුරන මාධ්‍ය ද රජයේ ආශිර්වාදය ඇතිවම වඩාලාත්ම කරන්නේ භේද වැපිරවීම ය.

යුද්ධයේ එක් පසක මිතුරන්ට බෙදී වෙන්වීමට ගත වූයේ යුද්ධය අවසන් කර සති කීපයකි.

රටක වෙනස් මතයන් තිබීම අරුමයක් නොවෙ. එහෙත් තමන් දරන ඒ මතයන් වෙනුවෙන් පෙනී සිටිම වෙනුවට ප‍්‍රතිපාක්ෂික මත දරන්නන් කෙරෙහි වෛරයම මෝදුවන ලෙස භේද වැපිරෙන්නේ නම් උදෑසන මෙ ජාතික ගීය ගයන්නේ කා වෙනුවෙන් ද?

ජාතික ගීය ඉදිරියේ සීරුවෙන් ඉන්නා ජනතාව ඊළග මොහොතේ තමන්ගේ ප‍්‍රතිවාදියාට අංචියක් අදින්නේ කෙසේදැයි කියා කල්පනා කරන්නේ නම් එතැන තිබිය හැකි ජාතික සමගිය කුමක් ද?

එවැනි ජාතියක් උදේ හවස සමගිය පතා ගී ගයන්නේ කා රවටන්න ද?

අප බොහෝ දෙනෙක් කැමති චාරිත‍්‍රවාරිත‍්‍රවලට ය. ඒ පිටුපස තිබෙන හරයට පිටුපස හරවන ඔවුහු චාරිත‍්‍රය ඔලුව උඩ තියාගෙන වන්දනා කරති.

මෙම විකාරය අප විසින් පෙන්වා දෙන කල කිපෙන උන් කරන්නේ චාරිත‍්‍ර විනාශ කරන්නේ යැයි අපට අවලාද කීම ය අප දේශදෙ‍්‍රාහීන් කිරීම ය.

තොල්විකාගෙන ජාතික ගීය ගයා පසුව අනුන්ට කෙළවා තමන්ගේ බඩ රැකෙනා කුණු ව්‍යාපෘතියකට අත ගහනවා ඇරෙන්නට මෙ තත්වය යටතේ කළ හැකි වෙන යමක් නැත. නායකයින් දෙන ආදර්ශය එය ය. උන් අපට වචනයෙන් කෙසේ වෙතත් ක‍්‍රියාවෙන් කියා සිටින්නේ ඒක ය.

අවශේෂ අපට කළ හැක්කේ මෙ විකාරය දෙස බලා සුසුම් ලෑම පමණකි.

Posted in: Uncategorized