සරත්ට පහර දීමට කට්ටිය පෝලිමට සෙට්වෙමින් තිබේ.

Posted on November 28, 2009



සරත් ෆොන්සේකාට එරෙහිව වැඩ කරන්නට ඉදිරිපත්ව ඇති අයගේ ගණන එන්න එන්නම වැඩි වී තිබේ.

පොලීසියේ නිමල් මැදිවක මහතා ද හමුදාවේ නිලධාරීන්ම ද ජනාධිපති ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද ජනාධිපති තුමා ද මර්වින් ඇතුළු එතුමාගේ දඩ බල්ලෝද අවසේස ගෝලබාලයෝ ද ඒ පෙරහැරට පෝලිමට එක්ව සිටිති.

ආරක්ෂාව අඩුකිරීමේ සිට නිවසින් එලියට විසිකිරීම දක්වා ද පාරෙ ගමන් කළ යුතු ආකාරය නිර්වචනය කිරීමේ සිට දෙනවා යයි කියූ ඉඩම් නොදී තියාගැනීම දක්වා ද හු කීමේ සිට නිග‍්‍රහ කිරීම දක්වා ද අවමන් කිරීමේ සිට තර්ජනය කිරීම දක්වා ද බොහෝ කෙණහිලි මේ අතර වෙයි.

රජ කෙනෙකුට කොකා පෙන්නු කෙනෙකුට මෙහෙම සැළකීම එක් අතකින් පුදුමයට කරුණක් නොවේ. පුදුමය රජුගේ ඒකායන ජයග‍්‍රහණයට හේතු ස්ථම්භක වූ පුද්ගලයාටම මෙම හෙනය පාත්ව තිබීම ය.

සිංහල දේශයේ මහා විරුවාම මෙම හෑල්ලු කිරීමට ලක්ව තිබීම ය.

ඇත්තටම මෙ සියලු අඩම්තේට්ටම් සම්බන්ධයෙන් රජතුමාට වැරදි පැටවිය නොහැකි ය. එතුමා පූස්පැටියෙකුටත් වඩා අහිංසක ය. එතුමා එසේ නොකරන ලෙස අවවාද දී තිබෙන්නේ තමන්ගේ කට්ටියට පමණක් නොවේ. ජනමාධ්‍යවෙදීන්ටත් එක්ක ය.

එහෙත් එතුමා කියන දෙයක්වත් එතුමාගේ ගෝලබාලයින් අසන්නේ නැත. රජතුමා පත්ව ඇති මෙම කණගාටුදායක තත්වය සම්බන්ධයෙන් පමණක් නොව තමන්ගේ යුද්ධය කළ රණවිරුවාට කරන මෙම සංග‍්‍රහය සම්බන්ධයෙන් ද ජනතාව කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇත් ද යන්න ජනපතිවරණයේදී බලා ගත හැකි ය.

දේශපේ‍්‍රමය කුණු කානු උතුරවමින් ගලා යමින් තිබේ. ඉදුල් වූ කිරිබත් ගද ද ඒ අතරින් නැගේ. මේ නහය වසාගෙන ජීවත්විය යුතු හෝරාවයි.

Posted in: Uncategorized