අලුත් විදිහකට තටමා පැරණි බෙට්ටක් එළියට ගැනීම

Posted on November 27, 2009



තෙවන ඇස නමින් තිබූ බ්ලොග් අඩවියකට මගේ ඇස ගියේ නිතැතිණි. සැවොම දකින ලෙස නොව තෙවන ඇසකින් දකින්නට අඩුවශයෙන් ඉටා ගැනීමම ලොකු දෙයක් නිසා ය.

එහි එක් සටහනක් වෙන්ව තිබුනේ සරත් ෆොන්සේකා ජනපතිවරණයට සම්ප‍්‍රාප්ත වීම ගැන විවරණයක යෙදෙන්න ය. වැල්වටාරම් ගොඩක් ගසා අපේ සගයා අවසානයට සිය නිගමනය සනාථ කරන්නට ගෙන ආ දෙයින් අපි පුදුමයට පත්වීමු.

එයින් කියා තිබුනේ මහින්දට චන්දය දිය යුත්තේ නොදන්නා එකාට වඩා දන්නා යකා හොද නිසා  බව ය.

අහෝ අපගේ තෙවැනි ඇස කොතරම් තෙවැනි ද?

එම බ්ලොග් අඩවියේ නමට යටින් ලියා තිබුනේ අලුත් විදියකට දකිමු කියා ය.

අලුත් විදියකට දකින බ්ලොග් අඩවියක සටහනක් අවසානයේ යොදා ඇති දන්නා යකා කතාව අප කියවිය යුත්තේ කෙසේ ද?

අපේ රටෙ අලුත් විදිහට හිතනවා යයි කියන උදවිය කරන්නේ මෙවැනි පරණ හණමිටි අදහස්වලින් වඩාත්ම යල් පැන ගිය අදහස් තෝරා ඹලුගෙඩි පිරවීම නම් ඒ හණමිටි අදහස් හරහා පැරණි දෙයම දන්නා දෙයම තහවුරු කරලීම නම් එවන් රටකට පැතිය යුත්තේ කාගේ හව් හරණය ද?

තමන්ගේ කදවුර වෙනුවෙන්, තමන් විශ්වාස කරන යමක් වෙනුවෙන්, පෙනී සිටීම වැරැද්දක් නොවෙ. එහෙත් ඒ සදහා මෝඩයෙකුගේ තැනට පිරිහීම ගැන අපට ඇත්තේ කණගාටුවකි.

වරින්වර බ්ලොග්අඩවිවලට පැන අප ඒවා විවෙචනය කරමු. එයින් අදහස් කරන්නේ අපගේ බ්ලොග් අවකාෂය වඩාත් දියුණු කිරීම ය.

තෙවන ඇසකින් දැකීමට දරණ වෑයම අපගේ සිත්ගත් නමුත් එම වෑයමෙන් අත් කර ගෙන ඇති ප‍්‍රතිඵලය ගැන දකින විට අපට ඇත්තේ දුකකි. ඒ දුක බ්ලොග් සගයා ගැන පමණක්නොවෙ. අප ද ඇතුළත් සිංහල බ්ලොග්අවකාෂය ගැන ය. සමස්ථ රට ගැන ය.

(අපට ද සරත් ෆොන්සේකා ගැන බරපතල ප‍්‍රශ්න තිබේ. එහෙත් ඒ ඔහු නොදන්නා ජොකියෙකු නිසා නොවෙ. දන්නා හමුදා ජෙනරාල් වරයෙකු නිසා ය.

අපට මහින්දගේත් සරත්ගේත් ලොකු වෙනසක් පෙනෙන්නේ නැත. දෙදෙනාම යුද්ධය විසදුමක් හැටියට විශ්වාස කළ අය ය. දෙදෙනාම සිටියේ එකම පෙරමුණක ය.

හැබැයි මෙම අරගලය තුළ යම් සාධනීය ලක්ෂණ තිබේ. මෙතෙක් තනි අස්වයාගේ තරගය දැන් විවෘත තරගයක් ව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද අවශ්‍ය ය.

දෙදෙනා අතර හැප්පීම ජනතාවගේ වාසිය පිණිස යොදාගත හැකි ය. යොදාගත යුතු ය. (දැනටමත් සහන ගග ගලන්නට පටන්ගෙන තිබෙ උතුරෙ අවතැන් කදවුරුවල ජනයාට නිදහස ලැබීමෙ පටන් දකුණට සහන මල්ලක් ලැබීම දක්වා කටයුතු ඒ අතර තිබෙ). අප මෙම තරගය දෙස බලන්නේ ඒ කෝණයෙනි.

ජනපති වරණයෙන් කවුරු බලයට ආවද ඒ ඕනෑම කෙනෙක් සමග අපට බේරුම් කරගත යුතු තව බොහෝ දේ තිබේ. අපට අනාගතය විවෘත අවකාශයකි. තවදුරටත් සටන් කිරීමට සිදුවන පොර පිටියකි. ජිවිතය නැමැති මාවතේ අපට ලැගුම්හල් නැත. ඇත්තේ බර පොදි උසුලාගෙන යන කෙළවරක් නැති ගමන පමණ ය. ගමන වෙහෙස වුවත් අපි එයින් සතුටක් ලබමු. අලුත් මං පෙත් හොයමින් අප සදාකාලිකව ඉදිරියට ඇදෙනා බැවිනි.)

Posted in: Uncategorized