විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට මහින්දට තවත් ජනවරමක් ඕනෑ මන්ද?

Posted on November 26, 2009



විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර 17 සංශෝධනය ක්‍රියාත්මක කර මාධ්‍යවේදීන්ට තැලූ පෙලූ උන් මැරූ මිනීමරුවන් අල්ලා උන්ට දඩුවම් කර මාධ්‍ය නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ද තහවුරු කිරීමට මහින්ද නැවතත් ජනතාව ඉදිරියට යාමට සැරසෙයි. මේ පණිවුඩය කිසිදු හිරිකිතයක් ලජ්ජාවක් නැතිව අපට ඉදිරිපත් කරන්නේ මහින්ද මුණ ගැසුනු මාධ්‍යවේදී මාෆියාව ය.

මහින්ද අපට පෙන්වන්නට හදන්නේ මේවාට ජනතාව කැමති වෙයිද අකමැති වෙයිදැයි හරියට නොදන්නා නිසා නැවත ජනවරමක් අලුතෙන් ඉල්ලිය යුතු බව ද?

මේ ටික මහින්ද කීවේ ජනමාධ්‍ය වේදීන් අමතා ය. මහින්ද මෙයින් අදහස් කරන්නට ඇත්තේ ජනමාධ්‍යවේදීන් තරම් ගොනුන් තවත් නැතැයි ජනතාවට ඒත්තු ගැන්වීමට සැළැස්වීම ද?

දින තිහකින් අහෝසි කරනවා යයි පොරොන්දු වී බලයට පැමිණි චන්ද්‍රිකාට පවා තමන්ගේ වසර 11 ක් පුරා දිවගිය වරම් දෙකකදී ද කරන්නට බැරිවුන එය අහෝසි කරන බව ජවිපෙට මෙන්ම හෙළ උරුමයට ද පොරොන්දු දී උන් සමග ගිවිසගත් ගිවිසුමට ද ඇතුළු කිරීමෙන් පසුව පවා එහි ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණ වසර 4 ක් තිස්සේත් අහෝසි කිරීමට මහින්දට පවා බැරිවූ එකක් අහෝසි කිරීමට ඒ මහින්ද විසින්ම නැවත ජනවරමක් ඉල්ලීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? ජනවරම් දෙකක් මදිවී තුනක් ඒ සදහා අවශ්‍ය විය හැකි බව ද?

ඔබ මහින්ද වාදියෙකු විය හැකි ය. එහෙත් පුංචි බබාලා අන්දනවාක් මෙන් කරන මේ ඇන්දිල්ල ඔබට දිරවා ගත හැකි ද?

ඔය ටික ඕනෑ නම් සති දෙකකින් ඉටු කර දිය හැකි කාරණා ය.

වචනවලින් අප ගොනාට අන්දවන්නේ ක්‍රියාවෙන් පහසුවෙන් ඔප්පුකර පෙන්විය හැකි දේ ගැන ය.

අපට මහින්ද ගැන වෙනම තරහක් නැත. අප තරහ අපට කෙළවන පාලකයින් ගැන ය.

මහින්දට වෙනස්වන්නේ නම් වෙනස් වන්නට තවත් කල් තිබේ.

විධායක ජනාධිපති තනතුර අහෝසි කර දැමීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් තවමත් ගෙනා හැකි ය.

දුටුගැමුණු හා එලාර එක් වී අනවශ්‍ය යුද්ධයක් වැළැක්වූවාක් මෙන්ම මහින්දට හා සරත්ට එක්වී එවැනි තවත් අවාසනාවන්ත අරගලයක් නතර කළ හැකි ය. එයින් මුදල් අර්බුදයකට මුහුණ දී ඇති රටට සහනයක් පවා අත් වනු ඇත. අවශ්‍ය වන්නේ හිත පමණ ය.

අප පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. එය ඇතිකරන්නේ මහින්ද ද සරත් ද රනිල් ද යන්න අපට අදාළ නැත. පරක්කු වී හෝ මහින්දට එය ඇති කර හැකි නම් අප මහින්ද සමග ය. එයට ඉක්මණින් ඉදිරිපත් වන්නේ නම් පරණ පවුවලට පවා සමාව දීමට ද අප සූදානම් ය.

Posted in: Uncategorized