සරත් ෆොන්සේකාට ආදරය කරන්නේ යයි කියන්නන්ගේ කයිය හා කෙරුවාව

Posted on November 25, 2009



සරත් ෆොන්සේකාට ඇති ආදරය නිසා සමහරු එතුමා ජනාධිපතිවරණයට තරග නොකළ යුතු යයි කියති.

දේශපාලුවන්ගේ හිරිකිත ලෝකයට වැඩම කිරීමෙන් සිය වීරයා  නිශේධනය වනු ඇතැයි බිය නිසා එසේ කියන්නේ ද නැත්නම් මෙම තරගය තුළ ගාගන්නා මඩ නිසා බොහෝ දෙනෙක් ශුද්ධ යයි සළකන දේ අශුද්ධ වීමෙ අවදානමෙන් මග හරවා ගැනීමෙ වුවමනාවට එය කියන්නේ ද එසේ නැතිනම් මහින්දගේ ආරක්ෂාව සදහා එය කියන්නේ ද යන්න හරි හැටි පැහැදිලි නැත.

එහෙත් මට හිතෙන්නේ ඇති ව තිබෙන හා ඇතිවෙන්නට යන හානිය වළක්වා ගන්නට මෙවන් ආයාචනාවලට තවදුරටත් බැරි බව ය.

සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව අඩු කළ, ඔහුගේ නිවසින් ඔහු දින කීපයක් තුළ නෙරපන්නට තැත් කළ, ඔහු සපයා ගත් නිවස පවා ඔහුට නොදෙන ලෙස නිවෙස අයිතිකරුවන්ට තර්ජනය කළැයි සරත්ම කියන, ආණ්ඩුවට විරුද්ධව හීන් කෙදිරියක් හෝ නගන්නට සරත්ගේ කීර්තිය වෙනුවෙන් පාරට බැස ඇති මෙ කිසිවෙකුත් සමත් වී නැත.

සරත්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට අසමත් අය ඔහුගේ කීර්තියේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් පෙනී සිටින්නේ කෙසේ ද?

අප රටෙ මිනිසුන්ගේ සැබෑ ගුණමකු කම දැක ගන්නට මෙවැනි අර්බුදයක්ම මතු විය යුතු ය.

සියලු ශුද්ධ දේ අශුද්ධ වී යන මෙම හෝරාවෙන් පෙන්නුම් කරන්නේ යුද්ධයට කරන්නට බැරිවූ සාමය සමත්ව තිබෙන විස්කම් කවරෙද යන්න ය.

ඒ තිත්ත ඇත්ත මෙයැයි එළිදක්වා සිටීම ය. කාගෙ කාගේත් කෙරුවාව හා කයිවාරුව අතර වෙනස පෙන්වා සිටීම ය.

හොඳ හොඳ නාඩගම් එළිවෙන ජාමෙට යැයි අප කී කථාව සත්‍යයක් වෙමින් තිබෙ. තවම පටන් ගත්තා විතර ය.

Posted in: Uncategorized