ආණ්ඩුව අපත් සමග “කොප්පර කොප්පර පිපිඤ්ඤා” ය!

Posted on November 1, 2009



ඉස්සර පුංචි සන්දියෙදි අපි සිප්පි කටු වලට ලස්සණ පිහාටු මාරු කරගත්තෙමු. තවත් සමහර වෙලාවට පරණ කාසිවලට පරණ මුද්දර මාරු කර ගත්තෙමු.

ඒ අතීතය මතක් වුනේ නීතිපති දෙපාර්තමෙන්තුව ජසීහරන් හා වලර්මතී සමග නඩුවක් හුවමාරු කර ගත් බව දැකීමෙන් ය.

කතාවට අනුව මෙම දෙපළට නඩු පවරා තිබුනේ එල්ටීටීයට පක්ෂ  වාරික සගරාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාම වෙනුවෙනි. මුද‍්‍රණ යන්ත‍්‍රාලයක් පවත්වාගෙන යමින් ඊට උදව් කළ බවට ද චෝදනාවක් විය.

දින 500ට වඩා ඉක්මයාමෙන් පසු මෙම දෙපළට විරුද්ධව පවරා තිබූ නඩුව නීති පති දෙපාර්තමෙන්තුවම අකුළාගත්තේ ය.

ඒ අකුළා ගැනීම පිළිබද කතාව අපූරු එකකි. ඒ ජසීහරන් හා වලර්මතී විසින් තමන්ගේ මානව අයිතිවාසිකම් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලයේ කඩවිනැයි දමා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට එකග වීම නිසා ය.

එක අතකට හුවමාරුවෙ වැරැද්දක් නැත. රජයට විරුද්ධ නඩුව අස්කරගන්නේ නම් රජය දමා ඇති නඩුව අස්කර ගත හැකි ය. වැඩෙන් දෙපැත්තටම වාසි ය. පිහාටුවක් දෙන්නේ සිප්පි කටුවක් ලැබෙන නිසා ය.

තිස්සනායගම් අල්ලා ගනු ලැබුවෙ මෙම දෙපල බලන්නට බන්ධනාගාරයට  ගිය වෙලාවක ය.

එහෙත් අවාසනාවකට තිස්සට එවැනි බෙරුමක් කර ගැනීමට බැරි විය. තිස්ස සිප්පි කටු එකතු කළේ නැත. ඉතින් පිහාටු ඉල්ලාගන්නේ මක්කා දීලා ද?

නීතිපති දෙපාර්තමෙන්තුව පුංචි දරුවන් මෙන් සෙල්ලම් කිරිම හරිය. අපේ රටෙ නායකයින්ගේ වැඩ ද ඒවගේ බාල වැඩ වුනාම නීතිපති දෙපාර්තමෙන්තුවට පමණක් වැඩිහිටියන් වෙන්නට බැරි ය.

ඊලග දවසේ යමක් කර පොලීසියට අහුවුනොත්  පොලීසිය සමග හොරා පොලිස් කරන්නට කතා කර ගැනීමෙන් වැඩෙ මෙසේ ගොඩින් බෙරාගන්නට පුලුවන. හැංගෙන්න ඉස්සෙල්ලා හැංගෙන බව පොලීසියට කියා සිටින්නේ ඒ අනුව ය. එතකොට පොලීසිය උසාවිය හමුවෙ කියන්නේ තවම අසු නොවූ බව ය. ඉස්සර මෙ විදිහට බෙරි ඉන්නට පුලුවන් වුනේ පුංචි අපව බයකරගෙන ඉන්නා ලොකු කොල්ලන්ට ය. හොරා පොලිස් කරද්දී උන් දැක්කත් නොදැක්කා සේ ගොස් පුංචි අහිංසකයෙක් අප අල්ලා ගත්තා අපට මතක ය.

ආණ්ඩුව කොහොමටත් අප සමග කර කර ඉන්නේ කොප්පර කොප්පර පිපිඤ්ඤා ය. අපි “කොප්පර කොප්පර පිපිඤ්ඤා” කිව්වහම ආණ්ඩුව පස්ස බැලුවොත් දෙසඤ්ඤා කියා කියන්නේ ආඩම්බරෙට ය. මරු සෙල්ලම නේ ද? හිටපු ගමන් පොලීසිය අණ කළ විට පාර අයිනේ අපි හිටං ඉන්නේ ඒ අනුව ය. එහෙම හිතුවහම කෝප නොවී සිටිය හැකි ය.

දැන් ඉතින් තියෙන්නේ ඔවැනි පැරණි සෙල්ලම් මතක් කර ගැනීම ය. ගොඩින් බෙරෙන්න නම් හොදම දෙය ඔය විදිහ ය.

Posted in: Uncategorized