උතුරු වසන්තයේ අසහාය නියමුවා අපේ බැසිල් රාජපක්ෂ යුවරජ තුමාය

Posted on October 23, 2009



රස්සාවට කෙළවුනු නිසා පන්සලක ඇබිත්තයෙකු වන්නට කල්පනා කළ බව කලින් සටහනක අපි ලීවෙමු. සති දෙකක් පමණ ඒ රස්සාවද කළෙමි. එය හිතූ තරම් පහසු නැත. හාමුදුරුවන්ගේ නීතිරීති ද ආවතේව කම් කරන්නට කරණ අණ කිරීම් වල ද සීමාවක් නැත.

ඒ ඇබිත්ත රස්සාවෙන් කම් නැත. පන්සලේ හාමුදුරුවන්ට ඇබිත්තකම් කළ හැකි නම් ඇමති හෝ මන්ත්‍රී හාමුදුරු කෙනෙකුට ඇබිත්තකම් කිරීමට බැරිකමක් තිබෙන්නට බැරි ය.

වෙන රටවල රස්සාවක් කරන විට සල්ලි ලැබේ. එසේ වුවද රස්සාවක් ගන්නට සල්ලි දෙන්න ඕනෑ නැත. අපේ රටේද රස්සාවක් කරන විට සල්ලි ලැබෙතත් එවැන්නක් ගන්නට නම් සල්ලි ටිකක් ලෝස් නැතිව විසිකරන්නට පුලුවන් විය යුතු ය. මේ බ්ලොග් අඩවියට NGO කාරයෝ දුන්න ඩොලර් ලොකු ගණනක් තිබුන නිසා සෑහෙන මුදලක් ‍පහුගිය අවුරුද්දේ ඉතිරිකර ගන්නට හැකි විය. ඒ මුදල් වියදම් කර ලොකුම තැනකට සෙට් වෙන්නට වාසනාව ලැබුනේ ය.

රාවය පත්තරේ තිඹිරියාගම බණ්ඩාර සහෝදරයා ඩලස්ට සෙට් වුනාක් මෙන් මටත් ‍සෙට් වෙන්නට අවස්ථාවක් ලැබුණේ මාධ්‍ය රස්සාවකට ය. ඒ ඇමති හාමුදුරු කෙනෙකුට ‍නම් නොවේ. මන්ත්‍රී හාමුදුරු කෙනෙකුට ය.

හැබැයි මා ඇබිත්තකම් කරන්නේ මන්ත්‍රී හාමුදුරු කෙනෙකුට වුව ද ඒ මන්ත්‍රී හාමුදුරුවන්ට ඇමතිවරු පවා බය ය. කතා කරන්නේ පවා සර් කියා ගරු නම්බු දීලා ය. එහෙම බැලුවහම තිඹිරියාගමට වඩා මා වාසනාවන්ත ය. 

මුලින් තිබුනේ පරිසරය පුරුදුවෙන්නත් එක්ක මන්ත්‍රී හාමුදුරුවන් සමග නිකම් එහා මෙහා යාම ය. ඒ ගමන් හරි ආෂික් ය. අපි යනකොට මිනිසුන් කාණුවට බැස තාප්පවලට මුහුණ දී එකත්පස්ව සිටින අයුරු බලන්න ලස්සණ ය. ඉස්සර මාත් ඔහොම කාණුවට බැහැලා හිටි හැටි මතක් වෙනකොට ප්‍රීතිය වැඩි ය.

යමක් කමක් දැන කියා ගත්තාට පසු මගේ කාර්යය වනුයේ උතුරු වසන්තය ගැන ලිවීම ය. ඉදින් දැන්ම තියා පොඩි රියේසල් එකක් කරන්නට හිතුවෙමි.

උතුරු වසන්තය යටතේ …..ගම්මානයට විදුලිය ලබා දීම උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිත ය. ….ගම හා ….ගම යා කරන පාරට උතුරු වසන්තය යටතේ තාර දැමීමේ කටයුතු ඊයේ ආරම්භ විය. මේ කටයුතු දෙකම උතුරු වසන්තය බාර බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකෙරේ.

උතුරු වසන්තය බාර බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් උතුරු වසන්තය යටතේ ඉදි කරන ලද හියුම් පයිප්ප දෙකේ බොක්කුවක් විවෘත කිරීම හෙට වාලිපුරම්හි දී යෙදී ඇත.

උතුරු වසන්තය යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවක් යාපනය දිසාපති කාර්යාලයේ පැවැත්වේ. එය උතුරු වසන්තයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මහින්ද චින්තනය යටතේ සිදුකෙරෙන බව සංවිධායකවරු පවසා සිටිති. එහි සමාරම්භක උළෙලට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවන්නේ ද බැසිල් රාජපක්ෂ මහතා ය.

උතුරු වසන්තය යටතේ විගණන කටයුතු කිරීම සදහා විගණන දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් යවයි. මේ සදහා විශේෂ මගපෙන්වීම උතුරු වසන්තය බාර බැසිල් රාජපක්ෂ මහතා ගේ ය.

දකුණේ නිකම් කෙරෙන වැඩ උතුරේ කෙරෙන්නේ උතුරු වසන්තය යටතේ ය. දකුණේ රජයේ ආයතනවල නායකත්වයෙන් කරන වැඩ උතුරේ කෙරෙන්නේ බැසිල් රාජපක්ෂ යුව රජතුමාගේ සුවිශේෂී මගපෙන්වීම යටතේ ය.

උතුරට මෙවන් යුවරාජ පදවියක් තිබියදී සපුමල් කුමරෙකු පහළවී තිබියදී තවත් ස්වයං පාලනයක් අවශ්‍ය වන්නේ මක්කට ද?

උතුරේ ජනතාව ඒ අතින් වාසනාවන්ත ය. අපට පවා නැති වසන්තයක් උතුරට උදාවෙමින් තිබෙන නිසා ය.

ඔහොම ලියාගෙන ගොස් කියවා බලන විට අන්තිම වාක්‍ය ටිකක් අප්සෙට් වගේ ය. කොහොම ලියන්න ගත්තත් පරණ BF එළියට එයි. මෙහෙම කළොත් ආයිත් කන්න වෙන්නේ පරිප්පු ය.

මොළය ‍හෝදා අලුතෙන් පටන් ගත හැකි තැනක් තියේ නම් දන්වන්න. නැත්නම් මේ බඩ රස්සාවටත් වැඩි ආයුසක් තියෙන එකක් නැත.

Posted in: Uncategorized