තවත් දේශද්‍රෝහියෙකු පොලිස් අත්අඩංගුවට! දේශද්‍රෝහීයා නිදහස් කරගන්නට දැගලු විරුද්ධ පක්ෂයට නඩු!

Posted on October 22, 2009



ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තමන්ගේ ප්‍රදේශය හරහා යන සැතපුම් 17 ක ප්‍රධාන මාර්ගයක් අබලන්ව තිබීම ගැන ලතැවුනේ ය. පසුතැවිලි වුනේ ය. තමන්ගේම ආණ්ඩුවක් තිබියදීත් කිසිවක් කර කියා ගත නොහැකිවීම ගැන ඔහු ලජ්ජාවට පත්වුනා වන්නට ද පුලුවන. අන්තිමේ තමන්ට කළ හැකි ආකාරයට මේ සදහා මැදිහත්වන්නට ඔහු තීරණය කළේ ය.

අමුඩයකින් සැරසී මාර්ගය අභියස සිට උපවාසයක් ආරම්භ කිරීමට ඔහු ඒ අනුව කටයුතු කළේ අඩුවශයෙන් එයින් වත් ලජ්ජාවට පත්ව මේ ගැන යමක් කිරීමට බලධාරීන් උත්සුක වේ යයි සිතූ බැවිනි.

එහෙත් ආණ්ඩුව හා උන්ගේ බත්බැලයන් වූ පොලීසිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ මේ මැදිහත්වීම දෙස බැලුවේ වෙනත් ආකාරයකිනි. එජනි සංධානයේම මන්ත්‍රීවරයෙක් මෙසේ පාරට බැස්සවිට එයින් ලජ්ජාවට පත්‍වන්නේ ආණ්ඩුව ය.

මේ ආණ්ඩුව ලජ්ජාවට පත් කිරීම‍ දේශද්‍රෝහී ය. ඒ නිසා ඔහු එජ නිදහස් සංධානයේ වුව ද ඔහු කුදලාගෙන ගොස් රිසි ලෙස සංග්‍රහ කිරීමට පොලීසිය කටයුතු කළේ ය. අපේ රටේ පොලීසිය තමන් පිටුපස ඉහළ බලධාරියෙක් නැත්නම් ආණ්ඩුවේ දේශපාලනඥයෙක් කුදලා ගෙන යන්නේ නැත. මීට පෙර මිනීමැරුම්වලට සම්බන්ධ අය පවා ආණ්ඩුවේ බල පුලුවන් කාරයින් වූ විට ඇවිත් බාර දෙන තුරු හොයන්නට පොලීසිය ගෙවල් පැත්තටවත් නොගිය බව බොහෝ දෙන්නා දන්නා කාරණයකි. එහෙම එකේ මෙවන් කෙනෙකු පොලීසිය විසින් කුදලාගෙන යන විට ‍ඒ ප්‍රාතිහාර්යයට ඉහළින්ම සම්බන්ධ ‍බව තේරුම් ගැනීමට ස්කොලෙ යායුතු ද නැත.

මේ අසරණයාගේ පිහිටට ආවේ එම ප්‍රාදේශිය සභාවේම විපක්ෂ නායක වරයාත් පළාතේ විපක්ෂ නායකවරයාත් ය. ගම්මුද විශාල පිරිසක් පක්ෂ බේදයෙන් තොරව මීට විරෝධය පාන්නට එක්වී සිටියහ. පොලීසිය වටලා නීතිය පසිදලීමට ඔවුහු එක්වී ක්‍රියාකළෝය. දමා තිබූ මාංචු පිටින්ම පොලිස් අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා පොලීසියෙන් පැහැර ගෙන යනු ලැබිණ.

මේ කටයුත්තට නායකත්වය දුන් විරුද්ධ පක්ෂයේ නායක දෙපළට විරුද්ධව උසාවි ‍ගිය පොලීසිය අත්අඩංගුවේ සිටි අය බලාහාත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළේ ය. ඔවුන් ඇප පිට නිදහස් කොට තිබෙන්නේ දැඩි අවවාද යටතේය.

නාඩගම තාවකාලිකව අවසන් ය. එම නාඩගම රගදැක්වූවේ නිශාන්ත මුතුහෙට්ටිගමට අම්බානකට නෙලූ පොලීසියම ය.

නිශාන්ත මුතුහෙට්ටිගමට මෙන්ම අපේ අවාසනාවන්ත ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට ද (නම කියන්නට නොහැකි වීම ගැන සමාව) අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකට ය. මේ ඔවුන් විසින් පසුකරනු ලබන්නේ තමන්ගේ පළාත වෙනුවෙන් පෙනී සිටීම තමන්ගේම ආණ්ඩුව යටතේ වැරැද්දක් වන කාල වකවානුවක් ය. ඔවුන්ගේ තනි නොතනියට දැන් ඇත්තේ විරුද්ධ පක්ෂය හා ජනතාව පමණකි.

Posted in: Uncategorized