යන්නාට ද යවන්නාට ද සංක්‍රමණය සරු බිස්නස් එකකි. දෙන්නාම කැප ව ඇත්තේ බොරුවෙන් ලොව දිනීමට ය.

Posted on October 20, 2009



නෙත් එෆ් එම් ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙවර වෙන්වූයේ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන්නන්ගෙන් ගරා ගන්නා බිස්නස් ව්‍යාපෘතියක් ගැන ය. ඉන්දුනිසියාවේත් කැනඩාවේත් නීතිවිරෝධි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සහිත නැව් දෙකක් හසුව අර්බුදයකට පත්ව තිබෙන පසුබිමක මෙම වැඩ සටහන විකාශනය වීම වැදගත් ය.

දිවි එපා කියා රට හැර යන අය මෙන්ම මෙසේ තමන්ගේ සියලු වත්කම් පරදුවට තබා රට යැමට සූදානම් පිරිස් ද සිටින බවත් ඒ නිසාම ඔවුන්ගෙන් හම්බු කර ගෙන කෑම සරු බිස්නස් එකක් වී ඇති බවත් මෙම වැඩසටහනෙන් මොනවට අනාවරණය විය.

ජාතී ජාතීත් උපදින්නට වාසනා කරන මේ රට හැර යන්නේ ඇයිද යන ප්‍රශ්නය හැමදාම නගන නිසා එය නැවත නොනගාම මෙම අභාග්‍යය තුළින් මතුවන වෙනත් ප්‍රශ්නයක් ගැන අද අපේ විමසිල්ල යොමුවේ.

මේ බිස්නස් ව්‍යාපාරයේ ගොදුරක් වූ එක් ගනුදෙනු කරුවෙකු කීවේ සංක්‍රමණය සදහා තමන් සමෘද්ධි ලාභියෙකු බව ඔප්පුකරන ලියකියවිල්ලක් ද තමන්ට රැකියාවකට පළපුරුද්ද ඇති බව ඔප්පු කරනු සදහා සුපිරි වෙළද සැළක වැඩකළ බව ඔප්පු කරන ලියකියවිලි ද සකස් කළ යුතු බව ය. ඒ සදහා ඉල්ලා ඇති මුදල රු 16000 කි.

ඉදින් මේ ගනුදෙනු කරුවා මුලින්ම මේ මුදල් පරිත්‍යාග කොට තිබේ.

පළමුවෙන්ම මතුවන ප්‍රශ්නය නම් ‍සුපිරිවෙළද ‍සැළක සේවකයෙක් හා සමෘද්ධි ලාභියෙක් හැටියට කෙනෙකු එකවර පෙනී සිටින්නේ කෙසේද යන්න ය. එය සංක්‍රමණය අපේක්ෂා කළ අය විසින් තමන් මුදල් දුන් අයගෙන් ඇසිය යුතුව තිබූ ප්‍රශ්නයකි. ඒ වුනත් එය නගා නැත. එක්කෝ ඒ බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔහුට නැත. නැත්නම් ඒ බුද්ධිය සංක්‍රමණයේ ප්‍රතිලාභ විසින් මොට කොට දමා ඇත.

පිරමිඩ් ක්‍රමය හදුන්වා දුන් අවස්ථාවේ මෙයට හසුවුනෝ ඉහළ නිලධාරීන් හා වෘත්තිකයින් ය. දහ දෙනෙක් සොයා ගෙන උන්ට තව දහ දෙනෙක් සොයා ගෙන එසේ දිගට යන විට තමන්ට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් පිරමිඩවලින් හදුන්වා දෙනු ලැබී ය. දහය සිය වී එය දහස වන විට කිසියම් තැනක හිර වෙන බව, එදාට ව්‍යාපාරිකයා ‍මෙන්ම මුලින් ක්‍රීඩාවට බැස්ස අය ද ගොඩට යන මුත් වලිගය අමාරු ‍වැටෙන බව, තේරුම් ගැනීමට ලොකු බුද්ධියක් අවශ්‍ය නැත.

අමාරු වැටෙනු ඇත්තේ තමන් නොවන බවත් ක්‍රීඩාවේ ආකර්ශණය ඔවැනි විශ්ලේෂණයක් කිරීම නිශේධනය කිරීමට තරම් බලවත් බවත් ඔවුනට දැනුනා වන්නට පුලුවන. තමන්ට ලැබුනත් තමන් විසින් බිලිදෙන සෙසු තුන්වන වටයේ හතරවෙනි වටයේ ක්‍රීඩකයින් ගැනවත් හදවතේ තෙතක් බොහෝ අයට තිබුනේ නැත.

මේ කියන්නට උත්සහ කරන්නේ රවටන්නට අය මෙන්ම රැවටෙන්නට ද අය ඉන්නා බවත් තමන් රැකේ නම් අනෙකා රැවටීම බොහෝ දෙනෙකුට කාරණයක් නොවන බවත් ය.

රු 16000 ක් දී සහතික හදන්නට අනුමැතිය දෙන එකා තමන් මේ කරන්නේ තව කෙනෙකු රැවටීමට මුදල් ආයෝජනය කිරීමක් බව දනී. රු 16000 ත් ගෙන තමන් රැවටු බව කියතත් තමන් ද මේ රැවටිලි ගේම් එකේ කොටසක්ව සිටි බවත් වෙනත් කෙනෙකුව රැවටීමට ඉදිරිපත්ව සිටි බවත් ඔහුට හැගෙන්නේ නැත.

ඔහු කංකෙදිරි ගාන්නේ තමන්ව රැවටීම ගැන ය. තමන් අනෙකා රැවටීමට අත් උදව් පමණක් නොව තමන්ගේ ධනය ද ලෝස් නැතිව වියදම් කළ බව ඔහුට මතක නැත.

රැවටීම හා රැවැට්ටීම ජීවිතයේම කොටසක් වී ඇති රටකින් මීට වඩා දේ අපේක්ෂා කිරීම වැරදි ය. අප දොස් පැවරිය යුත්තේ කාට ද?

Posted in: Uncategorized