සරත් ෆොන්සේකා – රැවුල නිසා බොන්නත් බැරිය. කැ‍‍‍ද නිසා අහක දාන්නත් බැරි ය.

Posted on October 19, 2009



මේ වසරේම ජනවාරි මාස‍යේ විශේෂ ප්‍රකාශයක් මාධ්‍යවලට කරමින් සරත් ෆොන්සේකා හමුදාපතිවරයා කියා සිටියේ දේශද්‍රෝහී මාධ්‍යයන් එල්ටීටීයට ද වඩා භයානක බවත් උන් මැඩලීමට පියවර ගැනීම තීරණාත්මක කාර්යයක් බවත් ය.

ඉරණම එසේ කියූ සරත් ෆොන්සේකාට කාරුණික වූයේ නම් නැත.

යුදහමුදාවේ 60 සංවත්සරය සැමරූ උත්සවයේ සරත්‍ ෆොන්සේකාගේ කතාව පළ කිරීමට ඉදිරිපත් වූයේ ඒ දේශද්‍රෝහී මාධ්‍යකරුවන් පමණ ය. දේශප්‍රේමී මාධ්‍යකරුවන් සියල්ල සරත්‍ ෆොන්සේකාට ඒ වනවිටත් ද්‍රෝහී වී සිටිය හ.

සරත් ෆොන්සේකා වඩා ඔසවා ගෙන ගිය අය ඔහු බිම දමා අතැර ගොස් තිබුනේ ය. සරත් ෆොන්සේකාට ද්‍රෝහීවීම එදා සැළකුණේ දේශද්‍රෝහී වීමක් හැටියට ය. අද එය සළකන්නේ සැබෑ දේශප්‍රේමය ලෙස ය.

සරත් ෆොන්සේකාගෙන් සම්මුඛ පරීක්ෂණ ඉල්ලා ඔහු පසුපස්සෙන් ගිය මාධ්‍ය කාරයෝ දැන් ඔහු මග හැර යන්නෝ ය. ඔහුගේ කැපවීම වර්ණනා කළ ඇමැතිවරු න් පෝලිමේ අවුත් ඔහුගෙන් රටට වූ දෙයක් නැතැයි කියන්නට පටන් ගෙන ඇත්තේ ය.

සරත් ෆොන්සේකාගේ භූමිකාව සම්බන්ධයෙන් වඩාත් බිය පහළ කළ ප්‍රේමජයන්ත ඇමති තුමා ඒ සදහා පකිස්ථානයෙන් උදාහරණ දෙන්නට ගොස් පකිස්ථාන රජය ද මේ හබයට පටලවා ගන්නට යෙදුනේ ය.

මේ ඇමතිවරු කියන දේට පටහැනිව හමුදා ප්‍රකාශක කියා සිටින්නේ සරත් ෆොන්සේකා හා ආණ්ඩුව අතර විපක්ෂය පෙන්වන්නට හදන (වෙනත් කටකින් කීවොත් මේ ඇමතිවරු පෙන්වන්නට හදන) ආකාරයේ විරසකයක් නොපවතින බවයි. ප්‍රශ්නය ඇත්තේ හොරාට කලින් වැට පනින කෙහෙල් කැණේ දැයි මාධ්‍ය ප්‍රකාශකගෙන් අහන්නට අපට මේ නිසා සිද්ධ වෙන්නේ ය.

ඒ අතරේ සරත් ෆොන්සේකා මහතා රජය විසින් වාරණය කරන ලද තමන්ගේ කතාවෙන් කියා සිටියේ මෙය තමන්ට හමුදාව ඇමතීමට ලැබෙන අවසන් වාරය විය හැකි බව ය.

එය එසේ වන්නේ කෙසේදැයි විරසකයක් නැතැයි අපට කී හමුදා ප්‍රකාශකටවත් පැහැදිලි කිරීමට බැරි විය.

මොකක් හෝ කලබැගෑනියක් ති‍රයෙන් පිටුපස සිදුවෙන බව නම් ජනතාවට වසන් කරන්නට බැරි ය. හමුදා ප්‍රකාශක නැතැයි කියන්නට හදන දෙයම කලබලයට පත්වූ ඇමතිවරුන්ගේ මැදිහත් වීම් වලින් ඇතැයි ජනතාවට තේරුම් යන නිසා ය.

දකුණේ පළාත් සභා චන්දය ඉවරවුනා විතර ය.

ඒ නිසා මේ හබයෙන් ඔල්මොරොන්දන් වී ඉන්නා ජනතාව කුමන තීන්දුවක් ගනීදැයි තේරුම් ගැනීම සදහා පැවැත්විය හැකි පුංචි චන්දයක් ද ඉතිරිව නැත. දැන් ඉතින් මියෙම්වා රැකෙම්වා යි කියා ඇත්තේ මහ චන්දයකට යාම ය. තවත් කල් ගත වුවහොත් මොකකින් මොකක් වේදැයි කියන්නට බැරි ය.

තියන්නේ මොන චන්දය දැයි හිතා ගන්නට ද බැරි ය. ජනාධිපතිවරණය තිබ්බොත් බැරිවෙලාවත් ඔය කියන විදිහට සරත් ෆොන්සේකා එයි නම් වැඩේ හබක් වන්නට වුව ඉඩ තිබේ. ඊට කලින් පාර්ලිමේන්තු චන්දය තියා ගත්තොත් එයින් ගැලවෙන්නට පුලුවන් වුනාට දාන්නට ඉන්නා ජොකියන්ගෙන් ජනතාව පලි ගත්තොත් එයින් නම් ගැලවෙන්නට බැරි ය.

මේසා විශාල ජයග්‍රහණයකින් පසුව මෙතරම්ම කූජිත වූ අවස්ථාවක් ඉතිහාසයේ නැති ය.

එය වත්මන් රජයේ මෙන්ම සරත් පොන්සේකාගේද ඛෙදවාචකයයි. තමන් වැඩ කළේ කුමන වර්ගයේ ස්වාමියෙකුට ද යන්න සරත් නොදැන සිටියාට අමතරව තමන් වැඩ ගත්තේ කුමන වර්ගයේ සේවකයෙකුගෙන් ද යන්න රජතුමා ද දැන සිටියේ නැත.

Posted in: Uncategorized