Dream Political Opportunistic Star- අවස්ථාවාදී දේශපාලනයේ සිහින තාරකාව ඔබෙ වැඩිඡන්දයෙන්

Posted on October 18, 2009



වඩාත් හොදින් ආණ්ඩුවේ කිලිටි රෙදි අපුල්ලමින් ද ඊට සුවද දුම් අල්ලමින් ද පුද පූජා පවත්වමින් ද පූස් පැටියෙකු මෙන් ආණ්ඩුවට හීලෑ වී ඉන්නන් අතරින් අග්‍ර තනතුර පිරිනමන්නේ කාටදැයි සොයා බැලීමට සමීක්ෂණයක් දැන් කෙරීගෙන යයි.

නැගෙනහිර පළාතට පොලිස් බලතල හෝ ඉඩම් බලතල අවශ්‍ය නැතැයි ද ඒවා ඉල්ලීමෙන් ආණ්ඩුවට අපහසුතාවයට පත් කිරීම යුතු නොවේ යයි ද කියමින් දැන් නැගෙනහිර පළාත් සභාවේ සිටින තම පැරණි සගයන් පාවා දෙමින් ද උන්ට දොස් පවරමින් ද ඊයේ පෙරේදා ආණ්ඩුකාරයා ඉවත් කරන ලෙස ඔවුන් ගෙන ගිය උද්ඝෝෂණයට දොස් පවරමින් හා උන් එසේ කරන්නේ දූෂණය ඉඩක් නැති නිසා යයි කියමින් උන්ට අවමන් කිරීමෙන් ද රජයට කඹුරන කරුණා අම්මාන් මෙයට සුදුසු යයි එක් යෝජනාවකි.

මර්වින් සමග මියන්මාරයට යමින් මර්වින්ගේ සියලු කෙරුවාවල් ඉවසා වදාරමින් ඇමතිවරුන්ගේ සියලු පව් ඉදිරියේ මුණිවත රකිමින් තම විරෝධය ඈතින් ඇති ඇමරිකාවට, පසුබා ඇති විපක්ෂයට හා මියගිය කොටින්ට එල්ල කරමින් ජීවත්වීමට යත්න දරන තමන් දරදිය ඇද ගොඩ නැගූ පක්ෂය පවා පාවා දුන් විමල්වීරවංශට හිමිවිය යුතු බව තවත් සමහරු කියති.

සමහරු නම් කියන්නේ මහින්ද චින්තනය බරක් ඔබාමා හා ප‍්‍රංශ ජනාධිපති විසින් ද පරිහරණය කරන බව පවසමින් අතේ පැළවෙන බොරු ගොතන හෙල උරුමයේ චම්පිකට එය ලැබිය යුතු බව ය.

බලාගෙන ගියහම සටනට බොහෝ දෙනා පිවිස සිටිති.

කෙහෙළිය රඹුක්වැල්ල  රාජිත සේනාරත්න බන්දුල ගුණවර්ධන මර්වින් සිල්වා මේ සටනේ කැපීපෙනෙන තරග කරුවෝ වෙති.

ඔබටත් ඔබ දන්නා කරුණු කාරණා අනුව නම් යෝජනා කළ හැකි ය. නැත්නම් මේ යෝජනා වී ඇති නම් ස්ථිර කළ හැකි ය.

හෙට අනිද්දා ජයග‍්‍රාහකයා නිවේදනය කරන්නට නියමිත ය.

ඔබ හද සොරා ගත් ඔබේම අපේක්ෂකයා නම් කර එවීමෙන් ඔබට ඔහු වෙනුවෙන් කඩේ යා හැකි ය.

තෝරාගත් අපේක්ෂකයාට ආණ්ඩුවෙන් හරසර ලැබීමට නියමිත ය. පසුකාලෙක ඒ අපේක්ෂකයාටම ගල්මුල් ජනතාවගෙන් ලැබුනොත් අපට කළ හැකි දෙයක් නැත.

හෙට ලැබිය හැකියයි හිතන ගල්මුල් නිසා අද ලබමින් සිට හරසර හා මල්මාලා ප‍්‍රතික්ෂේප කරන අය ලංකාවේ අඩු ය. කල දුටු කල වල ඉහ ගැනීමත් ඉන්පසු පැදුරටත් නොකියා හෙමිහින් ඵල ඇති රුකකට සීරු මාරු වීමටත් බහුතරය ඇබ්බැහි ය.

බොහෝ දෙනෙක් හිතන්නේ ගල් ගහන්න මිනිසුන්ට අමතක විය හැකි බව ය. ඒ නිසා ම මේ අවස්ථාවාදීත්වය පාඩුවක් නැති බව ය.

ඇත්තටම එහෙමත් වෙන වෙලාවල් ද (මිනිසුන්ට ගල් ගහන්නට අමතක වෙන වෙලාවල් ද) තිබේ!

Posted in: Uncategorized