මහින්ද රාජපක්ෂ වෙනුවට සරත් ෆොන්සේකා රජකමට

Posted on October 15, 2009



මේ දිනවල ජවිපෙ විසින් ලහි ලහියේ ගොඩ නගාගෙන යන මේ මතවාදය විවරණය කිරීමට වටිනා එකකි.

“මහින්ද රාජපක්ෂ යා යුතු ය. ඒ ගැන බොහෝ දෙනා එකග වෙතත් ඔහු පන්නා සිහසුනේ තබන්නේ කවුද යන්න ඔවුන් බොහෝ දෙනෙකුට උත්තර නැති ප්‍රශ්නයකි. ජනතාව විසින් මහින්ද තෝරාගන්නේ වෙන විකල්පයක් නැති නිසා මිසක ඔහු හොද නිසා නොවේ”.

එහෙම හිතන ජනතා විමුක්ති පෙරමුණට උත්තරය ලැබෙන්නේ සරත් ෆොන්සේකා ගෙනි.

ජවිපෙ පමණක් නොව ජනාධිපති අපේක්ෂයෙක් ලෙස කවුරු ඉදිරිපත් කරන්නේ දැයි ලතවෙන එජාපයට ද මේ ආගමනය සොම්නසක් වී තිබේ.

මහින්ද වගේම සරත් ද දේශප්‍රේමීය. මහින්ද මෙන් නොව සරත් දූෂණයෙන් තොර ය (ඒ උන් අප දන්නා තරම විය හැකි ය). අඩුවශයෙන් එසේ බවට කතාවක් නැත.

ඒ නිසා මහින්ද පන්නා දමන්නට සුදුසුම මිනිසා ඔහු ය.

ඉගුරු දීලා මිරිස් ගත්ත අපට මේවා කජු ය. කැහි ගෑණී දීලා හොටු ගෑණි ගත්ත අපට මේවා ටොයිස් ය. පෘතුගීසින් පන්නා ලන්දේසීන් ගෙන්නා ගත් අපට මේවා සරල ය.

අපට අවශ්‍ය එක් ආධිපත්‍යයක් වෙනුවට තව දුරටත් මිලිටරීකරණය වූ ආධිපත්‍යයක් ද?

අපට අවශ්‍ය හිටු කියන විට හිටින්නට ජනතාව යොමුවන ආකාරයේ නායකත්වයක් ද?

අපගේ හැගීම නම් රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිසක තවත් එකාධිපතියෙක් නොවන බවය. සිවිල් පාලනයක් මිස මිලිටරි පාලනයක් නොවන බව ය. දහසක් අදහස් ගැටීමට නිදහස ඇති බහුත්ව වාදී රටක් බව ය.

ඒ නිසාම මෑතකදී ඉස්මත්තට ඇවිත් තිබෙන මේ අතුරු යෝජනාව ගැන ජනතාව බැරෑරුම්ව කල්පනා කළ යුතුව තිබේ. මහින්දට ෆයිට් එකක් දෙන්නට හැකි අයෙක් අවශ්‍ය නම් සරත් ‍‍ෙෆාන්සේකා සුදුසුම පුද්ගලයා විය හැකි ය. අපට අවශ්‍ය මහින්ද අපෙන් උදුරාගත් ප්‍රජාතන්ත්‍රවාදය නම් එවිට මේ සුදුසුම පුද්ගලයා ද යනු නැවත සිතා බැලිය යුතු කාරණයකි.

එය එසේ වන්නේ අප දන්නේ මිලිටරි නායක සරත් ‍‍ෆොන්සේකා නිසා විය හැකි ය. දේශපාලන සරත් කරලියට එනතුරු අපට නම් මේ ආදේශකය ප්‍රශ්නයකි.

මෙයින් පෙන්නුම් කරන්නේ එකම දෙයකි. විපක්ෂයේ එක ද පක්ෂයකටවත් ජනතාවට ඉදිරිපත් කළ හැකි නායකයින් නැති බව ය. තමන්ගේ නායකයින් ගොඩ නගා ගන්නේ නැතිව අනුන්ගේ නායකයින් බිලිබා ගැනීමෙන් විපක්ෂය පොදුවේ පෙන්වන්නට හදන්නේ තමන්ගේ නොහැකියාවය.

එවැනි නායකයින් නිකම් ලැබෙන්නේ නැත. ඒවා ලැබෙන්නේ මහින්දගේ සමාගමට විරුද්ධව අරගල කිරීම හරහා ය. අරගල කරන්නට අකමැත්තෝ ෂෝට් කට් සොයති. මේ වෙමින් තිබෙන්නේ එයයි.

ෂෝට් කට් හොයන ජනතාවට සරිලන ආණ්ඩුවක් මෙන්ම උන්ට සරිලන විපක්ෂයක් ද උන්ට ලැබි තිබේ.

Posted in: Uncategorized