ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයත් දේශපේ‍්‍රමී වෙයි

Posted on October 13, 2009



විදේශයන්වලට සංක‍්‍රමණය වන ශ‍්‍රී ලාංකිකයන් සදහා විවිධ පුවත්පත්වල විශාල දැන්වීම් පළවෙයි. තමන්ගේ පුවත්පතේ මෙසේ පළ කළ දැන්වීම්වලට තිතක් තියන්නට ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය තීරණය කොට ඇත. මෙ බව අප දැන ගත්තේ එම ආයතනයෙන් පළකරනු ලබන පුවත්පතකම ආයතනයේ මෙම තීරණය ප‍්‍රශ්න කරමින් පළ කර තිබූ ලිපියක් කියවන්නට අපටත් ඉඩක් අහම්බෙන් ලද නිසා ය.

මිනිසුන් විදේශවලට සංක‍්‍රමණය වන්නේ ඇයි? ඒ සදහා විවිධ හේතු තිබෙ.

සමහරු යන්නේ තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් රට තුළින් සොයා ගැනීමට නොහැකි නිසා ය. සමහරු යන්නේ එසේ සොයා ගත්ත ද ගෙයක් දොරක් හදා ගැනීමට සල්ලියක් ඉතිරි කර ගැනීමට ඒ ලැබෙන පඩියෙන් නොහැකි නිසා ය. තවත් සමහරු යන්නේ තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට ලංකාවෙ ඉඩ කඩ අවම නිසා ය. අති විශාල තරගය තුළ ඒ සදහා ඉඩක් නොමැති තරම් නිසා ය.  තවත් සමහරු යන්නේ තමන් අත්විදි අසාධාරණ කම් නිසා ය. තවත් සමහරු යන්නේ රටෙ ආරක්ෂාව මදි නිසා ය. තවත් අය යන්නේ වඩා තෘප්තිමත් වෘත්තීය ජීවිතයක් ගොඩ නගා ගත හැකි නිසා ය.

මෙම හේතුවලින් එකක් හෝ අසාධාරණ යයි කිව හැකි ද?

අනෙත් අතට විදේශ සංක‍්‍රමණය බැරිවෙලාවත් නතර වූවා නම් එය රටට වඩාත් අහිතකර ලෙස බලපාන්නට නොතිබුනේ ද?

විරැකියාව එක්තරා දුරකට හෝ අඩුව ඇත්තේ සංක‍්‍රමණය නිසා ඇතිවන රැකියා ප‍්‍රස්ථා නිසා නොවෙ ද?

සංක‍්‍රමණය වූවන් විසින් එවන විදේශ විනිමය ලංකාවෙ ආර්ථිකය ශක්තිමත් කරන්නට බල පා නැති ද?

සංක‍්‍රමණය වූ අය නැවත පැමිණ ආයතනයන්ට එක් වූවිට ඔවුන් කිසියම් වෙනසක් ඇති කිරීමට ඉවහල් වී නැත් ද?

සංක‍්‍රමණය වූ අය ශ‍්‍රී ලාංකික වුවමනාවන් වෙනුවෙන් කිසිදා පෙනී සිට නැත් ද?

සංක‍්‍රමණය තවදුරටත් උදව් දිය යුතු කටයුත්තක් ද අධෛර්යමත් කළ යුතු කටයුත්තක් ද?

වෘත්තීය ආයතනයකට සංක‍්‍රමණය පිළිබද තම පුවත්පතේ දැන්වීම් පළ කිරීම තහනම් කරනවාට අමතරව රටෙ බුද්ධිය රට තුළ කැමැත්තෙන් රඳවා ගැනීම සඳහා කළ හැකි වඩා නිර්මාණ ශීලී කටයුතු නැති ද?

එකත් එකටම රජයේ දේශපේ‍්‍රමී වැඩ පිළිවෙලට පොඩි බකප් එකක් දී තමන්ට ලකුණු ටිකක් දමා ගන්නට ඉංජිනේරු ආයතනයේ නිලමක්කාරයින් හිතුවා වන්නට පුලුවන. එහෙම බකප් දෙන අයගෙන් ආණ්ඩුවට අඩුවකුත් නැත. එහෙත් අපගේ ප‍්‍රශ්නය නම් එවැන්නන්ගෙන් රටට වත් දිගුකාලීනව ආණ්ඩුවටවත් සෙතක් වන්නේ ද යන්න ය.

සංක‍්‍රමණය අවම කොට අපේ අය අපේ රට තුළ රදවා ගත හැක්කේ කෙසේදැයි කල්පනා කිරීමට අමතරව සංක‍්‍රමණය වන්නන්ගෙන් වඩාත්ම වැඩි අනුග‍්‍රහයක් රටට ගත හැක්කේ කෙසේදැයි කල්පනා කර බැලිය යුතු ය.

සංක‍්‍රමණයට පොලු දානවාට වඩා එවැනි ප‍්‍රවෙශයක් ගැනීම රටටත් ජනතාවටත් හිතකර බව අපේ හැගීම ය.

ඉංජිනේරු ආයතනයේ ලොක්කන් ඇතුළු ලාංකික බුද්ධිමතුන්ගේ උරුමක්කාරයින් සියල්ලන් හට ඒ බුද්ධිය පහළ වෙවා යනු අපේ පැතුමය.

Advertisements
Posted in: Uncategorized