හප්පේ! මොන විනාශයක් ද‍ මේ වුනේ?

Posted on October 11, 2009



ලෝකය මහා පුදුමාකාර තැනකි. සමහර ජයග්‍රහණ පැරදීමකට ද වඩා සවුත්තු ය.

ධර්මාශෝක රජතුමා කාලිංග දේශය ජයගත් නමුත් එහිදී වු මිනිස් ඝාතනය දැක එයින් කම්පා වූ සිත් ඇත්තේ පරාජයක් වූ කල මෙන් කණගාටු වී ය.

අපේ රටේ උදවියගේ හිත ඒ අතින් ශක්තිමත් ය. එහෙම මිනිස් ඝාතනවලින් සසල කරවන්නට පුලුවන් තරමේ දුර්වල  සිත් උන්ට නැත. උන් කම්පා වන්නේ තමන්ගේ උන් මිය ගිය විට පමණකි.

එහෙත් ජයේදී පරාජය වීමේ සත්තතාවය උන්ට ද පොදු ය.

අප ඒ බව කීවේ දකුණු පළාත් සභාවේ චන්ද ප්‍රථිඵල දැකීමෙන් ය.

ආණ්ඩුවට සියලු පළාත් සභා චන්ද එකවර පවත්වා මැතිවරණ සදහා යන විශාල වියදමක් ඉතිරි කරගන්නට පුලුවන් වුව ද ආණ්ඩුව එසේ කළේ නැත.

ඉතා පරිස්සමින් තෝරා ගත් පළාන් සභා එකක් දෙකක් ගෙන චන්ද පවත්වා එයින් නැගෙන ශක්තිය යොදා ගෙන වඩ වඩාත් වැඩි ප්‍රතිශක්තියකින් දිනා ගෙන අවසානයේ මහචන්දයකටත් ජනපති මැතිවරණයකටත් යෑම ආණ්ඩුවේ අභිලාෂය විය.

ආණ්ඩුව ලැබී ඇති බලයෙන් නොසැහී අනභිබවනීය බලයක් ගොඩ නගා ගැනීමට ජනතාවගේ බදු මුදල් හිරිකිතයක් නැතිවම භාවිතා ක‍ෙ‍ළ් ය. වෙනදා මෙවැනි දේ නොඉවසන ජනතාව පවා යුද්ධය අවසන් කිරීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් මේ මිල ගෙවුවාට කමක් නැතැයි හිත හදාගෙන උන්නෝ ය.

දකුණ අවසානයට තියා ගත්තේ හේතු කීපයක් ඇතිව ය. වඩාත් විශාල ජයග්‍රහණයක අපේක්ෂාව ද දරා ගෙන ය.

වෙන ඒවා දෙකක් එකවර පැවැත්වූ නමුත් මෙය ගත්තේ ද තනිවම අවසානයට ය (උතුරේ පළාත් සභාව ගැන කාටවත් වගේ වගක් නැත). ඒ ද හේතු ඇතිව ය. ජනපතිගේ නිජ බිම වීම ඩලස්‍ සෙනෙවියාගේ වැයික්කිය වීම වැඩිම සංවර්ධන ව්‍යාපෘතීන් අරඹා තිබීම වැඩිම රැකියා ප්‍රමාණයක් දී තිබීම බත් බිම දමා ගෙන කෑ හැකි පාරවල් හදා තිබීම වැනි දේ ඒ අතර විය.

ආණ්ඩුව ජයගත් නමුත් උපාය වැරදී ගියේ ය. 90%ක් කෙසේ වෙතත් සමහර අය කී 80% වත් ගැනීම තබා 70%ක්වත් ගැනීමට ආණ්ඩුවට බැරිවිය. ආණ්ඩුව දින්නා මුත් පැරදී ඇත.

යුද්ධයේ කීර්තිය නැතිව දිනාගත් වයඹ පළාතේ තමන් ලද ප්‍රතිශතයත්වත් ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. සුළුජාතික චන්ද වැඩිපුර ඇති ඊයේ පෙරේදා පැවැත්වූ සබරගමු ඌව පළාත් දෙකේ ප්‍රථිඵල වලට ද වඩා එය සවුත්තු ය.

යුඇන්පීයේවත් රනිල්ගේවත් අබමල් රේණුවක වෙනසක් වී නැත. රනිල්ගේ මේකප් එකත් තවම ඉස්සර වගේ මය. ජවිපෙ අලුත් බයිලාවක් ගැහුවේ ද නැත.

එහෙනම් වුනේ ‍කුමක් ද?

කම්පාවෙන් සිටින ආණ්ඩුවේ හිතවතුන් සනසන්නට හැකි උත්තරයක් ඉක්මණින් අවශ්‍යව තිබේ.

Posted in: Uncategorized