බියොන්ඩ් ‍‍ෆ්රේම් යූ ඇන් පී ද? – Beyond Frame කියවමු

Posted on October 11, 2009



අපව කියවීම බොහෝ දෙනාට අසීරු වී තිබේ. බොහෝ දෙනෙක් හිතන්නේ අප ආණ්ඩු විරෝධී කියා ය. සමහරෙක් තවත් ඉදිරියට ගොස් අප එජාප හිත වාදී යයි ද කියති.

ඇත්තටම මතු පිටින් බලන්නෙකු එවැනි නිගමනයකට එළඹීම ගැන පුදුම වන්නට දෙයක් ද නැත. අපි ආණ්ඩුව කිසිදු තැනක වනා නැත. එජාපයට දැඩි ලෙස පහර එල්ල කොට ද නැත.

අප එසේ කළේ ආණ්ඩුවට විරුද්ධ එජාපයේ පිළේ අප ඉන්නා නිසා නම් නොවේ.

ආණ්ඩුව වනන්නටත් එජාපයට ගරහන්නටත් ඕනෑකමින් ඉදිරිපත් වන මහා පිරිසක් සිටිති. ඒ‍ ගොඩේ තෙරපෙන්නට තවත් අය අවශ්‍ය නැත. අනිත් කාරණය වන්නේ මේ වත්මන් මොහොතේ අපේ ජීවිතයට බලපෑමක් කරන්නේ ආණ්ඩුව කරන වැඩවලින් විනා එජාපය කරන වැඩවලින් නොවීම ය. තවත් අමතර කාරණයක් ඇත. අප බදු ගෙවන්නේ ආණ්ඩුවට ය. එජාපයට නොවේ. සිව්වෙනි කාරණයක් ද තිබේ. එජාපය හෙට අනිද්දාවත් බලයට ඒමට හැකියාවක් පෙන්වා නැති සංවිධානයකි. ගැරඩි මරා පව්‍ ගන්නේ කුමකට ද? පස්වෙනි කාරණයක් ද ඇත. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල යම්තාක් දුරකට හෝ පාලනය කළ හැකි ශක්තිමත් විපක්ෂයක් සිටීම අවශ්‍ය යයි අප හිතන බව ය.

අප එජාපය දැඩි ලෙස විවේචනය නොකළේ ඒ හේතු නිසා ය. අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන අය විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එජාපයට වඩා බොහෝ වෙනස් වූ මතචාදයක් අපට ඇති බව තේරුම් ගන්නට ඇත.

එපමණක් නොවේ. රටේ වෙනත් බොහෝ ප‍්‍රශ්න ගැන ද අපට අපේම වූ මතයක් තිබේ. ඒ රට තුළ සිදුවන අසුභදායි දේ පිටුදැකීමේත් සුභදායි වෙනසක් කිරීමේත් අපේක්ෂාව පෙරදැරිව ගොඩ නගා ගත් මතයන් ය.

අප පළ කරන අදහස් ආණ්ඩුවට ප‍්‍රයෝජනයට ගත හැකි ය. ඒ වෙනස් වන්නට අදහස් කරන්නේ නම් ය. එවැන්නක් අප දකිනවාය හෝ අපේක්ෂා කරනවාය යන්න ඉන් අදහස් නොවේ.

ආණ්ඩුව වෙනස් වී රට හොඳ අතට හැරෙන්නේ නම්, ඒ සදහා ඇති ඉඩකඩ ඉතා අල්ප වුවද, ඒකටත් අප කැමති ය.

එසේ නොවන්නේ නම් අපගේ වෑයම සේවය කරනු ඇත්තේ ආණ්ඩු වෙනසකට ය.  වෙනස් වන්නට අකමැති ආණ්ඩුවක් වෙනස්වනවා දකින්නට ද අප කැමති ය.

විකල්ප ආණ්ඩුවක් හැදීමේ කටයුත්තේ නියැලෙන්නට එජාපය අදහස් කරන්නේ නම් ඔවුන්ට ද මෙයින් ප‍්‍රයෝජන ගත හැකි ය. එයට අපගේ විරුද්ධත්වයක් ද නැත. ඔවුන් එසේ කරතැයි ‍විශේෂ විශ්වාසයක් ද අප තුළ නැත.

එජාපය මෙයින් වාසිගනිතැයි කියා ඊනියා වමේ කට්ටිය මෙන් මේ ක‍්‍රියාමාර්ගය අත්හැර දමන්නට ද අපේ සූදානමක් නැත. එජාපය පැත්තකින් තබා අවශ්‍ය නම් තවත් නව බලවේගයකට වුව ඒමේ ඉඩකඩක් ඇත. එවන්නෙකුට අපේ මේ මැදිහත් වීමෙන් – එය සුළු වුවද – එජාපයට වඩා ඉඩක් ලබා ගත හැකි ය.

අප කියන්නේ වාසි දෙතුන් පැත්තටම ගත හැකි බවත් අවසානයේ ජනතාවට වාසියක් අත්කර දීම අපේ අපේක්ෂාව බව ත් ය.

එජාපය රට කරවන කාලයකත් අප ජීවත්ව සිටියොත් මෙලෙසම ලියන්නට අපි අපේක්ෂා කරමු. පුංචි පරහකට ඇත්තේ ඒ දවස අප මියෙන්නට කලින් ඒ දැයි සැකයක් පැවතීම ය.

අප විශ්වාස කරන්නේ කවුරු බලයේ හිටියත් උන්ගේ අඩුපාඩුකම් හා මුග්ධකම් පෙන්වීමට ජනතාව ඉදිරිපත් විය යුතු බව ය. නැත්නම් ඔය කවුරුවත් අපට කොරන්නේ නම් නැති බව ය.

ජනතාව දියුණු නම් උන්ට ලැබෙන ආණ්ඩු දියුණුවනු ඇත. ජනතාව මුග්ධ නම් ආණ්ඩු -ඒවායේ පාට කුමක් වුවද – ජනතාවගේ මුග්ධත්වයෙන් ප්‍රයෝජන ගනු ඇත.

අපේ මූලික කාර්යය කිසිම ආණ්ඩුවකට එසේ කරන්නට නොහැකි වන සේ ශක්තිමත් ජනතාවක් තැනීම ය.

අප විවේචනය කළේ ආණ්ඩුව පමණක් නොවේ. මේ රටේ උරුමක්කාරයින් ලෙස පොල්මක්කාරයින් ලෙස තමන්වම හදුන්වා ගෙන තිබෙන ඊනියා සිංහල බෞද්ධ ගොවිගම වැඩිහිටි පිරිමින් විසින් නියෝජනය කරන පසුගාමී රදළ වැඩවසම් පැළැන්තියම අපේ විවේචනයට හසුවිය.

අපට අවශ්‍ය නිදහස් නිවහල් සමෘද්ධිමත් රටක් ගොඩ නැගීමට ය. ඒ සදහා ජනතාව ශක්තිමත් කිරීමට ය.

ඒ නිසා ම අපගේ පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ බ්ලොග්අඩවිය හැකිතාක් පිරිසකට හදුන්වා දෙන ලෙස ය. ඒ හරහා මේ පුංචි වෑයමට ඔබත් යම්තාක් දුරකට හවුල්විය හැකි ය.

Posted in: Uncategorized