ශ්‍රී ලංකාවේ ඊලග අභියෝගය ඔලිම්පික් හරහා ලෝකයම ජයගැනීම යි

Posted on October 9, 2009



සරත් පොන්සේකා මහතාට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් පදවිය දීම ගැන බොහෝ දෙනා අදහස් පළ කරති. ඒවා අතර පහත සදහන් අදහස් ද අසන්නට ලැබිණි. හුදී ජන පහන් සංවෙගය සදහා අපි ඒවා මෙසේ පළ කරමු.

කලින් දුන් තනතුරෙ කරන්නට තරම් වැඩක් දැන් යුද්දයකුත් නොකෙරෙන කාලේ නැති නිසා ඒ මහතාගේ හිත යකාගේ කම්මල වගේ වැඩ කරන්න ගත්තොත් නපුරක් වෙතැයි සිතා ය.

ලොකුගේ දරණ තනතුර ලොකු තනතුරක් බව ලොකුගේට පෙන්වා දෙන්නට ජනාධිපති තුමාට ලොකුවටම අවශ්‍ය වූ නිසා ය.

ක‍්‍රීඩාව හරහා යුද්ධ කළ හැකි ජනතාවක් බිහි කළ හැකි නිසා ය.

යුද්ධ කිරීමෙන් වෙහෙසට පත් සෙනෙවියෙකුට හිත පිනවන යමක් දීම ආණ්ඩුවෙ යුතුකම නිසා ය.

මිනිහෙක්ව විසිකරන්න පුලුවන් හොදම විදිහ එහාටත් මෙහාටත් ඇද දමමින් සිටීම නිසා ය.

එතුමා යුද්ධය කියා කළේ සෙල්ලමක් බව ජාතියටම පෙන්වා දෙන්නට සිතුණ නිසා ය.

අනර්කලී ඡන්දයට දැමීමෙන් ජනයා තුළ ඇති කළ කුතුහලය වැනි කුතුහලයක් ඇති කිරීමට වුවමනා නිසා ය.

ඊළගට සරත්ට කරන්නේ මොකද්දැයි ඔට්ටු අල්ලන්නට ජනතාවට අවස්ථාවක් ලබා දීම පිණිස ය.

කරන්නාගොඩට ලේකම් කමක් දී තමන්ට නොදීම ගැන සරත් පොන්සේකා මහතා ගේ තිබූ අසතුට නැති කිරීම සදහා ය.

රජතුමාට අවශ්‍ය නම් ඔනෑම දෙයක් කළ හැකි යයි සංකේතාත්මකව තම අතවැසියන්ට හා රටවැසියන්ට කියා සිටීමට ය.

තවත් තනතුරක් දෙනවා නම් බාර ගන්නේ ක‍්‍රීඩාව වැනි ජෝගි නැටිය හැකි තැනක් යයි සහසුද්දෙන්ම සරත්පොන්සේකා මහතා විසින් කියන්නට ඇති නිසා ය.

ලෝකයම පුදුම කරන්නට රජතුමාට ඔනෑ නිසා ය.

සරත් පොන්සේකා මහතා ගෙන් ගන්නට මීට වඩා වැදගත් වැඩක් සොයා ගැනීමට බැරිවූ නිසා ය.

රණවිරුවන්ට ඉහළ තනතුරු පිරිනැමීම ආණ්ඩුවෙ ඒකායන උත්සහය නිසා ය.

ලෝකයේ හොදම හමුදාව බිහිකළ හමුදාපතිට ඔලිම්පික්වලින් ලෝකයම ජයගත හැකි ක‍්‍රීඩා කණ්ඩායමක් බිහිකිරීම වැනි විශාල අභියෝගයක් දිය යුතු නිසා ය.

තවත් බොහෝ දේ මිනිස්සු කියති. ඒවා ඔක්කොම මෙහි දමන්නට බැරි ය. සමහර ඒවා වැඩිහිටියන්ට පමණක් නිසා වාරණය කරන්නට වුනේ ය.

Advertisements
Posted in: Uncategorized