සජින් (Sajin) and අනර්කලී (Anarkalie)

Posted on October 7, 2009



ලග එන මැතිවරණය අපට අපගේ උපකල්පන පිරික්සා බැලීමට අවස්ථාවක් ලබා දෙයි.

කඩඉම බ්ලොග් සටහනක් ලියමින් කියා සිටියේ තමන්ගේ ජනප්‍රිය තාවය පරීක්ෂා කිරීම සදහා සජින් හා අනර්කලී රජතුමා විසින් යොදාගන්නට ඇති බව ය. එම ලේඛකයාට අනුව ඉතාම නොගැලපෙන කෙනෙක් දැම්මත් තමන් දමන්නේ නම් දිනන්නේ දැයි දැන ගැනීමට රජතුමාට අවශ්‍යව තිබේ.

අප දන්නා පරිදි නම් එතුමාට එහෙම රෝගයක් නැත.

දාලා තියෙන්නේ පරීක්ෂා කිරීමට නම් නොවේ. දිනන්නට ය. නැත්නම් ජනාධිපති ආරක්ෂක සේවයේ පිරිස් මේ දෙන්නා වෙනුවෙන් දකුණේ රාජකාරි කරවන්නේ නැත.

අපට ආරංචි හැටියට එතුමාට දකුණේදී සමහර අපේක්ෂකයින්ගෙන් දෝස්මුරයක් ද එල්ල වී තිබේ. කට්ටියකට ජනාධිපති ආරක්ෂක අංශයේ රථවාහන ඇතුළු පිරිවර සේනා ලැබෙන්නටත් අන් අයට නොලැබෙන්නටත් හේතු කුමක් ද යන ප්‍රශ්නය එතුමාගෙන් කෙළින්ම අසා තිබේ. උත්තරය සරල ය.

මගේ යාලුවන්ට සළකන්නේ නැතිව ඉන්න කියල ද තමුසෙ මට කියන්නේ?

නෑ දෑ හිතවත් පිරිසට සළකන්නට බැරි රජකමෙකින් කාරියක් නැත.

බො‍හෝ දෙනෙක් හිතනවාට වඩා රජතුමා සරල මිනිසෙකි. එතුමාගේ සරල තීරණ හා ක්‍රියාමාර්ගයන්ට ඕනෑවට වඩා සිරත්වයක් ලබා දීම විහිළුවකි.

ඇත්තටම බොහෝ දෙනෙක් නොසිතුවාට අංක 1 හා 2 මනාප තරගයෙන් ලැබෙන්නේ සජින්ට හා අනර්කලීට ය. ඒ උන් දෙන්නා අනිත් අයට වඩා හොද නිසා නොවේ. බලය ඇත්තේ කොහිදැයි ජනතාව දන්නා නිසා ය.

ජනතාව ද තමන්ගේ රජු මෙන්ම සිරා නැති නිසා ය.

සමහරු කියන්නේ නම් දකුණේ ජනතාව වෙනත් ප්‍රදේශවල ජනතාවට වඩා ප්‍රාදේශියවාදී නිසා නිශාන්ත මුතුහෙට්ටිගම හෝ ශාන් විජේතුංගට ද තවත් එවැනිම ගමේ උන්ට ද ලැබෙන්නට ඉඩ ඇති බව යි. එහෙත් බලය ‍ඒ වාදයන් සියල්ල අභිබවනු ඇතැයි අපේ කල්පනාව ය. අප හරිද වැරදි දැයි 10 දාට දැනගත හැකි වනු ඇත.

මේ රටේ මිනිස්සු පිදුරු කෑවත් කන්නේ ඕනෑවට වඩා හිතන්නේ නැතිව සරල ආකාරයට ය. බලය ඇත්තේ කොතැනද එය කොතරම් ජරා වුවද එය වටා එක්වනු අප අත්දකින්නේ ඒ නිසා ය.

කෙනෙකුට සිරා වෙන්නට වුවමනානම් තවත් එකක් මීට එක් කළ හැකි ය. ඔය කියන බලය ලබා ගෙන ඇත්තේ වසගය හරහා ය කීමෙනි. එහෙත් එයින් මිනිසුන්ගේ බලයට තියෙන බය පක්ෂපාතකම අහෝසිව යන්නේ නැත.

Posted in: Uncategorized