අන්තිමේදී පන්සලක ඇබිත්තයෙකු වන්නට සිතුවෙමි

Posted on October 5, 2009



අප නිපදවන බඩුම චීනයෙන් ලාබෙට ලෝක වෙළද පොළට සැපයෙන නිසා දැන් අපේ බඩුවලට ඉල්ලුම අඩුවී ඇතැයි මුලින් කියන ලදී. එසේ කියා වැඩි කලක් ගියේ නැත. කොම්පැණිය වසා දැමුනේ ලෝක වෙළදපොලේ ඉල්ලම අඩුවීමත් බදුබර වැඩිවීමත් නිසා බව අපට කියමිනි.

දැන් රස්සාවක් නැත. අමාරුවෙන් හොයා ගත්ත ද නැවතත් පුද්ගලික අංශයේ රැකියාවක් ‍කළොත් මේ ආනිසංශයම අත් විය හැකි ය. 

ඒ නිසා ආණ්ඩුවේ රස්සාවක් කරන්නට හිතුවෙමි. එහෙත් හත්මුතු පරම්පරාවේවත් දේශපාලනය කළ එකෙක් නැත. අනේ මෙහෙම මො‍්ඩ රැලක්! එහෙම සම්බන්ධයක් නැතිව ආණ්ඩුවේ රස්සාවක් ගැනීම අමාරු ය. උන්ට බැණ බැණ සිටීමෙන් වැඩක් නැත. ඔය මොකක් හෝ පාලුවෙකුට සෙටි වී බඩ රස්සාවක් සොයා ගන්නවා විනා.

එහෙත් ආණ්ඩුවේ රස්සාවල් කරන අය අඩන ඇඩිල්ලේ හැටියට එයින් ද කාරි නැත. නිකමට විනෝදෙට එකතු වුනත් ඉහළ යන බඩුමිලට බැණ බැණ ඉන්නවා මිසක් උන්ට අත්වුන සුගතියක් ගැන නම් අසන්නට නැත. හැබැයි කට්ටියක් නම් හොදින් ඉදියි. ඒ ගරානා කා‍රයෝය.

හොරකම් කරන්නට හිත හදා ගැනීමට අමාරු වුවත් බැරිකමක් නැත. ඒ වුනාට නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නේ කුමකට ද?

බිස්නස් එකක් කරොත් මොකෝ? දහඅතේ කල්පනා කර කර ඉන්නා විට එහෙම කීවේ මගේ ගෑණි ය. ඒකි දන්න මගුල! බිස්නස් කරන්න බැරිනිසා නේද කොම්පැණි වහන්නෙ?

අයියෝ ඔය පිරිමි කම මට තිබුන නම් දනී මම කරන දේ! ගෑණීට මේ කාරණා තේරෙන්නේ නැත. බිස්නස් කාරයෙකුට ගෙවන්නට තියෙන කප්පම් ගැන ගෑණී මෙලෝ සංසාරයක් දන්නේ නැත.

දිගටම කල්පනා කර ගෙන යන විට පොටක් පෑදෙනවා වගේ දැනිණී. පන්සලකට සෙට් වුනොත් මොකද ඇබිත්තයෙක් හැටියට?

මොනවා නැතත් මිනිසුන් පන්සලට දන්නොදී අරින්නේ නැත. හාමුදුරුවන් සමග ගැවසෙන්නට අකමැති අය පවා දේවාලය පැදකුණු කොට යන්නට එති. ටිකක් හාස්කමක් දෙකක් ගැන කතාවක් පතුරුවා බිස්නස් ලයින් එකක් සාදා ගත හැකි ය.

පන්සලේ දී නැත්නම් දේවාලයේදී සනසන්නේ මනස ය. කයට ආහාර වගේද මනසට සහනයක් ගෙන ඒම! අල වගේද ගෝවා!

ගෑණි දරුවන් බලාගෙන ගෙදර ඉන්න අතරේ මට පන්සලේ තපින්න සිද්ධ වෙනවා ය. ඉතින් මොකද රෑට රෑට ගෙදරත් ඇවිත් බලලා යන්න බැරි යැ!

පන්සලට නැත්නම් යන්නට වෙන්නේ හමුදාවට ය. ඇත්තටම දැන්නම් ඒකත් නරක නැත. මුර දේවතාවුන් වැනි මිනිසෙක් වෙන්නට ඉස්සර නම් හොද හමුදාව ය. ඉස්සරහට පන්සල ඊට වඩා හොද වෙන්නට පුලුවන.

උපායමාර්ගික කළමනාකරුවෙක්ගේ මොළයටත් වඩා ඉක්මණින් වැඩ කරන මේ මොළයට පිනි බාන්න දෙන්න හොද නැත. පන්සලේ හාමුදුරුවන්ව අන්දා උන්දෑට මන්ර්‍ත්‍රී පදවියක් අරන් දෙන්නට හැකි නම් කල්ල මරේ ය. කොහොමටත් මන්ත්‍රී හාමුදුරුවන් දැන් දියවන්නාවේ සිටිනා නිසා තව එක්කෙනෙක් වැඩිවන එකක් නැත.

මෝඩ පාට දායකයින් ටික දෙනෙක් අල්ලා ගත්තහම තුන්හෙළයේ සංවිධානයක් හදා ගත හැකි ය. සිල් ගන්නට එන්නේ නැති සිංහලයින් පන්සලට ඒ ඔස්සේ අල්ලා ගත හැකි ය. මට හාමුදුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිටිය හැකි ය.

කන්න ලැබෙනවනම් මොන වෙන කෙංගෙඩියක් ද ඕනෑ කරන්නෙ. ඇත්තටම ඒ සදහා ඉස්සරහට වඩාත්ම හොද තැන විය හැක්කේ පන්සල ය. පන්සලේ පිහිටුවා ගන්නා සංවිධානය හරහා පන්සල් ඒම අනිවාර්යය කරන නීති පැනවීමට ආණ්ඩුවට බල කිරීම මගින් ගිහි දායකත්වය තහවුරු කර ගත හැකි නම් ද දායකයෙක් වෙන්නට අකමැති අයගේ ගෙවල් ඉස්සරහ බලලා ල‍වුඩ්ස්පීකර් දමන බව කියමින් උන්ව බය කර වඩා පළල් දායක පිරිසක් හදා ගත හැකි නම් ද කර්මාන්තය නරක් වෙන එකක් නැත.

පන්සලක් අල්ලාගන්නවාටත් වඩා අමාරු කාරිය වනු ඇත්තේ බිරින්දෑට මේ බිස්නස් සංකල්පය විකිණීම ය. ඒ ඊළග ආත්මයක් ගැන හිතන ඒකිගේ චිත්ත සන්තානය නිසා ය. ඊළග ආත්මයක් ගැන කල්පනා කරන්න මේක ඉස්සෙල්ල ජීවත්වෙල ඉන්න එපායැ? මොකද මං කීවේ බොරුවක්ද?

මං හිත හදාගෙන ඉවරය. මගේ දයාබර පාඨකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ මං මේ පනින්න හදන පැනිල්ලට ආශිර්වාද කරන ලෙස ය. තුණුරුවන් සරණයි කීවා නම් ඇති ය.

Posted in: Uncategorized