කුරුණෑගල බෝම්බය

Posted on October 4, 2009



කුරුණෑගල බෝම්බය අපට නැවත වතාවක් අප දෙස බලන්නට අවස්ථාවක් ලබා දී තිබේ.

එහෙත් මෙය තවත් සාමාන්‍ය සිද්ධියක් යයි කියා අමතක කර දමන්නට ද සමහරුන්ට ඕනෑ කර තිබේ. එය තේරුම් ගන්නට පුලුවන් ය. එක අතක තුවක්කුවකුත් අනෙත් අතේ මානව හිමිකම් ප්‍රඥප්තියකුත් අරගෙන හදවතේ සෙනේහය පුරවාගෙන යුද කරන්නට ගිය අපේ පුතෙකු අතින් මෙවැන්නක් සිදුව ඇති නිසා ය.

එක් පුබ්බරුවෙකු කළ වරදට හමුදාවක් ගස් යවන්නට අපේ කල්පනාවක් නැත. එහෙත් හමුදාවට අපකීර්තියක් වෙතැයි සිතා මෙය පිළිබද පසු විපරමක් කිරීමෙන් වැළකීම අපිවම රවට්ටා ගැනීමකි.

මේ සිද්දියෙන් පශ්චාත් යුද සමයේ ශ්‍රීලංකාව මුහුණ දීමට නියමිත තර්ජනයක් පිළිබද ඉගියක් සැපයේ.

මිනිසුන් බොහෝ දේ ඉගෙන ගන්නේ අවට සමාජයෙනි.

නඩු අසන්නේ නැතිවම පාතාලය ඉවත්කිරීම යුක්ති යුක්ත යයි එලිපිටම මිනිසුන් ප්‍රකාශ කරන ලොකු ලොක්කන් පවා කියන සමාජයක් අපට තිබේ. නරක මිනිසුන් ඉවත්කිරීමේ දී හොද මිනිසුන් ද ඉන් තුවාල වෙතැයි මිය යතැයි යන්න සැබෑ වුවද එයින් නරක මිනිසුන් ඉවත් කිරීමේ කාර්ය කල් දැමිය යුතු නොවේ යයි ද සමාජය පසුගිය කාලයේ අමතර වශයෙන් කිවුවේ ය.

ඉතින් ඉවත් කරන්නට තීරණය කර තිබුනේ නරක මිනිසෙකි. තමාගේ අඹුව සමග සම්බන්ධකම් පැවැත්වුයේ යයි විශ්වාස කළ මිනිසෙකි (චුදිතයා තම පාපෝච්චාරණයේ දී කිව්වා යයි කියන විදිහට). ඉතින් ඌ ඉවත් කිරීම යුක්ති යුක්ත ය. නඩු අසා ඕවා කරගන්නට ලැබෙන්නේ කවදා ද? ඉතින් ඒ ඉවත් කිරීමේ දී අහිංසක අයත් මිය ගිය හැකි ය. එහෙත් ඒවා නරක මිනිසෙකු ඉවත් කිරීමේ මුහුණ දීමට සිදුවන අමතර පිරිවැය ය.

නීතිය තමන් අතට ගැනීමේ වරදට, අහිංසක මිනිසුන් ද ඒ ක්‍රියාව තුළ බිලි ගැනීමේ වරදට, මේ හමුදා භටයාට දොස් නැගීමට මේ සමාජයට පුලුවන් ද?

මේ භටයා අසුව ඇත්තේ යුද්ධයත් සමග මේ සමාජය ගොඩනැගූ ඒ මුග්ධ මතවාදයේ ය. දැන් ඉතින් ඌට දඩුවම් කරන සමාජය දඩුවම් කරගත යුත්තේ තමන්ට නොවේද?

Posted in: Uncategorized