ඉතිහාසය කරා ආපසු යන ග‍මනේ තවත් එක් සන්ධිස්ථානයක් කුරුණෑගලදී සනිටුහන්වෙයි!

Posted on October 4, 2009



ඉස්සර රජකාලයේ යම් තැනැත්තෙක් කළ වැරැද්දට ඔහු අල්ලා ගත නොහැකිවූ විට පවුලටම දඩුවම් කරන සිරිතක් තිබුනේ ය. සුප්‍රකට මද්දුම බණ්ඩාර වෘත්තාන්තයට පාදක වන්නේ ද ඒ සිරිත ය.

දැනුත් අපි බාගයක් විතර රජකාලෙට ගිහින් තිබෙන නිසාත් ඉතිරි දුර යාමට වලිකන නිසාත් ඔක් 02 දා කුරුණෑගල වෑන් රථයකදී සිදුවූ සිද්දිය එහිම අතුරුඵලයක් වන්නට බැරි නැත.

පාසල් සිසුන් ගමන්ගත් වාහනයක පිපිරවීමක් සිදුවී පාසල් සිසුන් අට දෙනෙකුට ද තවත් අයට ද තුවාල  සිදුවී තිබිණි. එක් දැරියක් මියගොස් ඇත.

පිපිරීම සිදුකර තිබුනේ කොටි නොවේ. සිංහයින් ය. ඒ පුද්ගලික ආරවුලකට පළිගැනීමක් වශයෙනි. එසේ කියන්නේ අප නොව සියල්ල දන්නා පොලීසියයි. මේ සම්බන්ධයෙන් දැනටමත් රණවිරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ඒ බව පොලීසියෙන් සැක හැර දැනගත් බොහෝ දෙනෙක් සැනසුම් සුසුම් හෙලුවෝය. ඒ මේ පිටුපස ඇත්තේ කොටි නොවන නිසා ය.

එහෙත් අපට එසේ සැනසෙන්නට බැරිවිය.

වැඩිහිටියන්ගේ ආරවුලක අතුරුඵලයක් ලෙස ළමයින්ගෙන් පලිගන්නා මේ සංස්කෘතිය අපේ ඉතිහාසය හා බද්ධය. ඒ ඉතිහාසය වත්මන පණගන්වමින් තිබේ. යුද්ධ සමයේ එහි පෙරහුරු දැක ගන්නට ලැබිණි.

මෙය බුහුමන් ලබන රණවිරුවන් අතරින් ආ කෙනෙක්ගෙන් සිදුවීම අහම්බයක් විය හැකි ය. එසේම යුද්ධයේම තර්කානූකූල පසුගමනක් ද විය හැකි ය. එයින් කවරක් වුව ද රණවිරුවෙකු අසුවීම එක්තරා අතකින් සංකේතාත්මක ය. ඉතිහාසය කරා වේගයෙන් ආපසු යන මේ ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් මේ සිද්ධියෙන් සනිටුහන් කෙරේ.

යක්කු නැගිට්ටුවා ගත්තහම වැඩ ගත හැකි මුත් උන් පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ.  

අපගේ සංවේගය ඒ නිසා ය. අපට සැනසීමට බැරිවූයේ ඒ නිසා ය. මේ ගමන කොහින් කෙළවර වේද?

කවුරුන් මේ පිටුපස සිටිය ද වැඩිහිටියන්ගේ වැරදිවලට ළමුන්ගෙන් පළි ගැනීමේ  ඒ ඉපැරණි ක්‍රමය නම් දැඩි‍ සේ‍ හෙළා දැකිය යුතු ය. රාජාණ්ඩු ක්‍රමයේ නෂ්ඨාවශේෂයන්ට පණ ගස්වා නැවත ගැනීමට තතනන වත්මන් දේශප්‍රේමීන් මේ ගැන බැරෑරුම් ලෙස සිතිය යුතු ය. කවදා හෝ උන්ට තමන්ගේ කෙරුවාවන් ගැන පශ්චාත්තාප වීමට කාලයක් එයි.

මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ ඒ කාලයේ ආගමනය ඈත නොවන බව පමණකි.

Posted in: Uncategorized