බලහත්කාරයෙන් බණ, පිරිත් හා යාඥා ඇස්සවීම

Posted on October 2, 2009



අශ්වයා දියට රැගෙන යා හැකි ය. එහෙත් ඌට දිය පෙවිය නොහැකි යයි පැරැන්නන් අතර මතයක් තිබිණි. එහෙත් අලුත් මිනිසුන් ඒ බවක් දන්නේ නැත. උන් හිතන්නේ දියට රැගෙන ගිය පමණින් ඌ දිය බොතැයි කියා ය.

ඒ නිසා බණ අසන්නට නොපැමිණෙන සැදැහැවතුන්ට බලහාත්කාරයෙන් බණ ඇස්සවීමට සළස්වනු ලැබේ. ඒ අහල ගම් හතකට ඇහෙන්නට ලවුඩ් ස්පීකර් දමලා ය.

මෙසේ බලහත්කාරයෙන් අස්සවන බණ අසා මිනිසුන් සෝවාන් වනු දැකීම ලවුඩ්ස්පීකර් දමන අයගේ අපේක්ෂාව ද?

රත්තරන් වටිනා වුවත් ගිලින්න බැරි ය. ඕනෑම හොද දෙයක් වැරදි තැන තැබූ විට කුණු ගොඩක් වෙයි. එය බුදු බණට ද අදාළ ය. මිනිසුන් රමණයේ යෙදෙමින් බණ අසන්නේ නැත.

මෙවැනිසරල සිද්ධාන්තවත් නොදන්නා අමන රැලක් විසින් ජනතාව වෙහෙසට පත් කිරීම සදහා ආගම යොදා ගෙන තිබේ. අවාසනාවට එය නැවැත්විය හැකි ජගතෙක් නැත.

අධිකරණය ශබ්ද දූෂණය වැළැක්වීමට පියවර ගත්තේ රාත‍්‍රී දහයෙන් පසු ය. එය දිවා කාලයටත් වලංගුවන ලෙස බලපවත්වන්නේ නම් හොද ය. නැත්නම් සිදුවන්නේ බණත් එපා වී යාම ය.

අඩුවශයෙන් අසනීප වී ඇති අය, පාඩම් කරන සිසුන්, රාත‍්‍රී වැඩ මුරය අවසන නිදා ගන්නා වෙහෙසට පත් මිනිසුන් සිටින්නේ යන කාරණයවත් තේරුම් ගැනීමට නොහැකි තරමට මේ සංවිධායකයන් අන්ධය. පන්සල් අවට පල්ලි අවට සැතැම්ප ගණන් ඈතට ලවුඩ් ස්පීකර් දමා පිස්සු කෙළින්නේ ඒ නිසා ය.

බුදුන් දැකීම නිසා මිනිසුන් නිවුනු බව කියැවේ. එහෙත් බුදුන්ගේ මෙ ගෝලයන් දැකීම නිසා මිනිසුන්ට සිදුවන්නේ කුපිත වීමට ය. බුදුන්ට කිවූ දේ දෙවියන්ට ද අදාළ ය.

මෙවැනි විගඩම් පැවැත්වීමෙන් වන්නේ ආගමේ පරිහානිය ඉක්මන් කරවීම ය. ඇත්තටම උන්ට ඕනෑත් ඒක වන්නට ඉඩ තිබේ.

Posted in: Uncategorized