පින් ඵල දෙනවිට ඵල දෙන්නේ එක හත වෙලා ය!

Posted on October 1, 2009



සමහරු වාසනාවන්ත ය. ඇත්තටම ඊට හේතුව පෙර ආත්මවල පින් රාත්තල් ගණනින් නොව ටොන් ගණනින් කර තිබීම ය.

ජාලිය කුලසේකර එවන් කෙනෙකි. හෙතෙම මග නැගුම සභාපති ය.

ලැබිය යුතු  සුදුස්සාටය සුදුසු තැන. ඒ අපේ රජතුමාගේ හැටිය. එතුමා තාන්න මාන්න පිරිනමන්නේ ද පෙර පින් කොතෙක්දැයි හොදින් සොයා දැන කියා ගෙන ය.

ඉතින් ජාලිය කුලසේකර මැතිතුමා තමන්ගේ පොකට්ටුවෙන් නොව රජයේ අරමුදල්වලින් දිව්‍ය බවනක නවාතැන් ගනියි. පින් පල දෙනවිට හැටි එහෙම ය. ඒ දිව්‍ය බවන තරු පහේ හෝටලයක ය. ඒ සදහා මිල රු 200,000. ඒ එක් දිනක ගාස්තු ය. මේ අපූරු තොරතුරු වාර්ථා කළේ ලංකාඊනිව්ස් http://www.lankaenews.com/English/news.php?id=8407 වෙබ් අඩවියයි.

මග නැගුම දිගට හරහට කරගෙන යන අතර තුර මේ රටේ හෝටල් කර්මාන්තයත් නංවන්නට එතුමා කල්පනා කරන්නට ඇත. පින්වන්තයින්ගේ හැටි එහෙම ය. අනුග්‍රහ දැක්වීමේ සීමාවක් නැත. කෙනෙකුට නැගිටින්නට අත දීමේ මොනම පසුබෑමක්වත් නැත.

මොකද්දෝ ලංකා කියා කියන පත්තර කඩමාල්ලක් දෙනියායේ සොයා බලන්නට ගියේ මග නැගුමෙන් ගොඩ නැගෙන පෞද්ගලික පාරක තොරතුරු ය. උන් නිකම් පස්ස බිම ඇන ගත්තෝය. මග නැගුම මෙසේ රටේ බොහෝ තැන්වල උදවියට නැගිටින්නට අත හිත දෙන තැනකි. එහෙම අතහිත දෙන අතරේ තරු පහේ හෝටලයකටත් අත හිත දුන්නාම වෙන වැරැද්ද කුමක්දැයි කවුරු හෝ අපට පහදා දෙනවා නම් හොද ය.

ලංකාඊනිව්ස් වෙබ් අඩවිය තවදුරටත් වාර්ථා කළේ මගනැගුමට අයත් බොහෝ යන්ත්‍රසූත්‍ර වාහනවලින් මග නැගුම ලාංඡනය ඉවත්කරමින් තිබෙන බව ය.

මේ රටේ ඉරිසියා කාරයින් ඉන්නා තුරු ඔවැනි ලාංඡන මගනැගුම වගේ ජාතික කාර්ය භාරයක් ඉටු කරන ආයතනවලට අවශ්‍ය නැත. තව ‍මන්දිර කීපයක්ම ලංකාවේ තැන් කීපයක ඉදිකරමින් පවතී. ඒවාටත් අත හිත දීමේ බලාපොරොත්තුවක් අපේ සභාපති තුමාට ඇත. මේ ලාංඡන දෙසු ගිජු ඇස යොමු කරන පිශාචයන් සිටින තුරු ‍හිතේ ඉස්පාසුවෙන් එවැනි අනුග්‍රහයක් දැක්විය නොහැකි ය. මේ දැන් විදින්නේ පෙර කළ පින් ය. ඉස්සරහටත් මේ විදිහටම විදින්න නම් තව පින් රැස් කළ යුතු ය.

ඇමරිකාවේ මෙන් නොව අපේ රටේ යමක් කරතොත් එය නැගලා යන්නටම කරන සිරිතක් තිබේ. මග නැගුම දැන් හොදටම නැගලා යන කාලය ය. ලාංඡන ගලවා දමා සැරසෙන්නේ මේ නැග්මට ය. ඒ පින් තකා ය.

එහෙව් යුගයක සභාපති තුමා අපහසුතාවයට පත් කිරීම නොහොබින දෙයකි. එය රජතුමා ඔලුවට ද අනවශ්‍ය බරකි. මේ මැතිවරණ සමයේ එල්ලෙන්න වැල් නැතිව සිටින විපක්ෂයට යම්තමකට අල්ලා ගත හැකි පරඩලාවකි.

අප නම් කියන්නේ විපක්ෂය ද ඇතුළු රටේ සෙසු ජනතාවට ද පින්කම් කරන ලෙස ය. මේ ආත්මයේ නැතත් ලබන ආත්මයේ වත් මෙවැනි ඉල්ලමක් කඩා වැටෙන්නට නම් එය අවශ්‍යම කොන්දේසියකි. කොහෙද අනුන්ට ඉරිසියා කරනවා මිසක් මේ හැත්තට පිනක් දහමක්වත් කරගන්නට ඕනෑ කමක් තියේ යැ!

Posted in: Uncategorized