අපේ සරසවියට තවමත් අත හැරීමට බැරිව ඇති නවක වදය

Posted on September 21, 2009



නවක වදය නැවතත් හිස ඔසවා ඇත. සරසවි නොගිය අයට සරසවි ගිය අය ගරහන්නට ලැබෙන එක් මහගු අවස්ථාවක් එයින් උදා වී ඇති අතර  සරසවි ගිය අයට තමන් සරසවි ගිය ද විශයට අමතරව මුකුත් නොදන්නා බව ලෝකයට හෙළි කරලීමට ද එයින් අවස්ථාවක් උදාවේ.

සරසවිවල ඉන්නා කටපාඩම් කිරීම හැර වෙනත් ජීවන කුසලතාවයක් නැති බොහෝ නිකමුන්ට පොර වෙන්නට ප්‍රතිරූප හදාගන්නට අවස්ථාවක් ඉන් ලැබේ. කෙල්ලක් නවක වදයෙන් බේරාගෙන හෝ නවක වදයේදී ශිල්ප දක්වා හෝ ඒ පිනෙන් ඇයගේ හිත ගන්නට වෙන මුකුත් කරන්නට බැරි කොල්ලන්ට ද ඉන් ඉඩක් ලැබේ.

තමන්ගේ දේශපාලන පිල්වල නවකයින් බෙදා ගැනීමට ද සමහර දේශපාලන කණ්ඩායම් මෙය අවස්ථාවක් කරගනිති. සරසවි පාලකයින්ට හිසරදයක් වී ඇති ශිෂ්‍ය නායකයින් ආණ්ඩු මට්ටු කිරීමට ඉඩක් පාලකයින්ට ලැබේ.

මාතෘකා නැතිව යනවිට ලියන්නට අලුත් යමක් පත්තර කාරයින්ට ද අප වැනි බ්ලොග්කරුවන්ට ද ලැබේ. කම්මුලේ අත තියාගෙන අනේ කාලෙ වනේ වාසේ කියමින් කම්පා වෙන්නට ඉඩක් වයසක උපාසක උපාසකම්මලාට ලැබේ.

ඒ ඇරෙන්නට නවක වදයෙන් වෙන වාසියක් නැත. එහෙත් කියන්නේ විවිධ තරාතිරම්වලින් විවිධ පසුබිම්වලින් එන හැමෝම එක මට්ටමකට ගැනීමට මෙයින් ඉඩ ලැබෙන බැවින් මේ කටයුත්ත ප්‍රහතිශීලී බව ය. අපට ඒ අයගෙන් පෙරලා ඇසීමට ඇත්තේ මේ තත්වය ඇතිකිරීම සදහා මීට වඩා නව්‍ය ක්‍රම සොයාගැනීමේලා සරසවිය අපොහොසත් වන්නේ මන්දැයි කියා ය.

නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි. මේ නවක වදයෙන් පටන් ගෙන ඉන්පසු කරන සියලු ක්‍රියා හරහා අහෝසි කරන්නේ ද ඒ විවිධත්වයයි.

අලුත් දේ සරසවියෙන් බිහි නොවීමට මීටත් වඩා තවත් දෑ ඕනෑ ද?

රටතුළ බහුතරයේ මතවාදයට බලෙන් සෙසු අය අවනත කරගැනීමට තනන උත්සහයට වෙනත් උත්සහයක් සරසවියේ දී අපට දැක ගත නොහැකි ය. එකම වෙනස රට තුළ ඇති මතවාදයට තරමක් වෙනස් කොට සාදාගන්නා ලද මතවාදයක් සරසවි‍ය තුළ බලෙන් සනාථ කරවීම පමණ ය.

මේ පසුගාමී කාරණයට අමතරව විවිධ මානසික රෝගවලින් පෙළෙන අයගේ විගඩම් බැලීමට ද ඒවාට යටත්වීමට ද නවකයින්ට සිදුවේ. ඒවා අතරින් පතර සිදුවන අහඹු ක්‍රියා ලෙස සළකා ඒවාට පිළිතුරු දීමෙන් ජේෂ්ඨ උත්ත‍මයෝ මග හැර යති. ඔවුන්ට මගහැර යා නොහැකි කාරණය නම් නවකවදය ක්‍රියාත්මක කරන හැම දෙනාටම පරපීඩක මානසිකත්වය නැමැති රෝගය ඇති බව ය. ඒවායේ විවිධ මට්ටම් තිබිය හැකි වුව ද පරපීඩක මානසිකත්වය ඒ හැම ක්‍රියාකාරකමක් තුළම ඇති බව සමහර විට මේ බොහෝ දෙ‍නා දන්නේ නැත.

මිනිස් ස්වභාවයේ කොටසක් වන එය ශිෂ්ඨාචාරය සමග සෙමෙන් නමුත් කෙමෙන් අභාවයට යමින් ඇති එකකි. අපේ සරසවි වලට ඒ ශිෂ්ඨත්වය කරා යාමට තව බොහෝ කල් ගත වනු ඇත. ගෝලීයකරණය වූ ලෝකයේ වෙනත් ප්‍රසිද්ධ සරසවිවලින්වත් අප ඉගෙන ගත යුතු වන්නේ ඒ නිසා ය. ඇත්තටම ලංකාවේ සරසවි වරම සීමා වීම නිසා පිටරට යෑමට සිදුව ඇති ශිෂ්‍යයින්වත් අප‍ වෙත මේ දැනුම ගෙනාවොත් හොද ය.

Posted in: Uncategorized