රජවාසල පුරෝහිතයෝ

Posted on September 19, 2009



පෙර රජ දවස අද මෙන් බොහෝ දේ සංකීර්ණ වූයේ නැත. රාජ්‍ය විචාරන්නට මෙවැනි කප්පරක් ආයතනත් රාජ්‍ය සේවකයෝත් සිටියේ නැත. පෙරළන්නට මෙවැනි පොත් තිබුනේ ද නැත. යටත්වන්නට එතරම් විශාල නීති සංඛ්‍යාවක් තිබුනේ ද නැත.

හිටියේ රජතුමාට අමතරව ඇමතිවරුත් නිලමේලාත් පුරෝහිතලාත් ය.

නීතිය වූයේ රජතුමාගේ අණ ය. නීතිය ක්‍රියාත්මක කළේ එතුමාට ඕනෑ පරිදි ය. යුක්තිය පසිදලූවේ ද එතුමා මය. පුරෝහිතයන් ිටියේ අර්ථයෙන් ධර්මයෙන් රජුට අනුශාසනා කරන්නට ය.

ප්‍රාදේශීය වශයෙනුත් ගම් වශයෙනුත් මේ පාලනය විමධ්‍යගතව තිබුණු අතර නිලධාරීන් විනා ආයතන තිබුනේ නැත.

ආයතන පසු කලෙක සුද්දා විසින් බෝකර අපට නතු කර දුන් වින්නැහියක් ය.

දැන් අප සීඝ්‍රයෙන් අතීතයට කරා ඇදෙමින් සිටිමු. බොහෝ තැන්වල අප දකින්නේ රජුගේ අණ බලාපොරොත්තුවෙන් පසුවන නිලමක්කාරයින් විනා ස්වාධින ආයතන පද්ධතියක් නියෝජනය කරන නිලධාරීන් නොවේ.

එහෙත් අවාසනාවට ආයතන ද තවමත් පවතී. මොන එහෙකට දැයි නොදැන ඒවා පවත්වාගෙන යනු ලැබේ. සියල්ල සිදුවන්නේ මේ ආයතන රටාවෙන් බැහැර රජවාසල දී ය.

ඇමතිවරු නිකම් බලාගෙන ඉන්නා අතර යුවරජවරු ක්‍රියාත්මක වෙමින් සිටිති. ඇත්තටම නිකම් බල‍ාගෙන ඉන්නවා යයි කීම උන්ට කරන නිග්‍රහයකි. උන් නිකම් බලා ඉන්නේ නැත. රජුට ප්‍රශස්ති ගයති. සීතාම්බර සළු අන්දති. ආයුබෝවේවා මහරජාණෙනි යයි උදේ හවස කියති. සියල්ල සිදුව‍න්නේ පෙර රජදවසේ දී වාගේ ය.

බටහිර අධිරාජ්‍යාවාදීන් තනා දුන් ආයතන දියව ගොස් ඒවායේ වෙසෙන නිලමක්කාරයින් පෙර රජ දවස දක්වන රැගුම් පානු බලන්නට ලස්සන ය.

අපට ඒත් පුංචි ප්‍රශ්නයක් ඉතිරිව ඇත.

ඉතින් වැඩ වෙන්නේ මෙහෙම නම් නිකම් අටවා ගත් ආයතන ගණනාවක් තිබිය යුත්තේ ඇයි දැයි කියා ය. රජුගේ අණ ක්‍රියාත්මක කිරීමට නිලමක්කාරයින් කීප දෙනෙක් අඩ බෙර ගැසීමට අණ බෙර කරුවන් කීප දෙනෙක් ද වශයෙන් පැරණි රජදවස නිලමක්කාර ව්‍යුහය තිබුනාම මදි ද?

නිකම් බොරුවට ඒවාට වියදම් නොකර රජුන්ට හා යුවරජවරුන්ට මාලිගා තනන්නටම ඒ සල්ලිත් වියදම් කළා නම් මොකද?

අපේ රජපවුල හොදින් වැජඹේ නම් එහි ආඩම්බරය අපට ය. බලන්න ඉංග්‍රීසින් පවා රජපවුලට දක්වන ආදරය හා ස්නේහ ය.

ඒ බලතල නැති පවුලක ටය. බලතල නැති පවුලකට ලෝකයා එහෙම සළකන විට බලතල ඇති පවුලකට අප විසින් කෙසේ සැළකිය යුතු ද? මේවා හිනාවෙන්නට නොව බරපතල ලෙස හිතන්නට කාරණා ය.

කෝටියකටත් වඩා පඩි ලබන පුරෝහිතයින් සිටිය ද සතයක්වත් නොලබා එහෙත් ගුවන්යානා හා රථවාහන පමණක් රාජකාරි සදහා භාවිතාකරන පුරෝහිතයින් හිටිය ද මෙවැනි අවවාද  අනුශාසනා රජුට නොලැබෙන්නේ මන්ද?

හදිසියේ තමන් ඉන්නා බව පෙන්වන එකම පුරෝහිතයා වූ වාසුදේවටවත් අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නට බැරි ද?

වාසුදේව පුරෝහිත තුමනි! (ඇත්තටම ඔබතුමා අයිතිවන්නේ පඩිලබනා අයට ද නැත්නම් ගුවන් ගමන් යාන වාහන ලබන කාණ්ඩයට ද යන්න අප මෙහිදී සැළකිල්ලට ලක් කළේ නැත) ඔබතුමාගේ නමත් පෙර රජ දවස සිහි කරන නිසාම දැන් ඔය වේගයෙන් සුදුවෙමින් තිබෙන රැවුල එකල හිටි පුරෝහිතයින් අඩුපාඩුවක් නැතුවම මතක් කර දෙන නිසාත් මීට හොදම සුදුස්සා ඔබම නොවේ ද?

ඉතින් අවසරයි පුරෝහිත තුමනි!

Posted in: Uncategorized