විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධවීම හැර වෙන ඕනෑම දෙයක් කිරීමේ නිදහස තිබේ!

Posted on September 18, 2009



රට පාවා දෙනවා යයි ප්‍රධාන විපක්ෂය (එජාපය) ට ‍එක් පැත්තකින් චෝදනා කරන ආණ්ඩුව තුන්වෙනි බලවේගය බවට පත්ව ඇති විපක්ෂයේ දෙවැනි බල ඇණියට චෝදනා නොකරම මර්දනයේ හස්තය දිගු කරයි.

ආණ්ඩුව හිතන විදිහට විපක්ෂය ඉන්න ඕනෑ ආණ්ඩුවේ ඇත්තන්ටත් වඩා කීකරු වය. සුවචව ය. එහෙම නොකරන අයට කරන සංග්‍රහයක් තිබේ. ජවිපෙ භුක්ති විදිමින් සිටින්නේ එයයි.

එපමණක් ද මදි ය. විපක්ෂය ආණ්ඩුවට සහයෝගය ද දිය යුතු ය.

ඒ ‍මොනවා කරද්දී ද? යම් හෝ ආණ්ඩුවට විරුද්ධව එල්ල වන පුංචි ‍හෝ විරෝධයක් කුලප්පු වූ මීමෙකු මෙන් නැති නම් මද කිපුණු ඇතෙකු මෙන් තලා සමතලා කර දමද්දී ය.

එසේ නොකරන එජාපයට උදේ හවස් හඩ්ඩා ලවා දෙහි කපන්නේත් මහින්ද අබේසුන්දර ලවා නූල් මතුරන්නේත් ඒ නිසා ය.

ආණ්ඩුවට විපක්ෂය විරුද්ධ නොවිය යුත්තේ මන් ද? එසේ විරුද්ධ වුවහොත් ජීඇස්පී ප්ලස් නැති වෙන නිසා ය. ජාත්‍යන්තර අරමුදල ණය නොදිය හැකි නිසා ය.

ඇත්තටම ආණ්ඩුව කියන දේ නාහන විරුද්ධ පක්ෂය කියන දෙය පමණක් අහන ජාත්‍යන්තරයක් සිටීමේ පාපයට වගකිව යුත්තේ එසේ වන ලෙස ජාත්‍යන්තරයේ මනස සකස් කළ ආණ්ඩුව නොවේ. ආණ්ඩුව කරන ඕනෑම දහජරා වැඩක් ඉවසා වදාරන්නේ නැතිව ඒවා ට කලබැගෑනි කරන විරුද්ධ පක්ෂයයි.

(වැරදිකාරයා ගෑණිට බැට දෙන මිනිහා නොවේ. ඒ ගුටි ඉවසන්නේ නැතිව අල්ලපු ගෙදරට ඇහෙන හීන් කෙදිරියක් නගන ගෑණීයගේ ය. දීගේ ඉරිතලා ගිහින් ඇත්තේ ගෑණිගේ මේ කෙදිරිය නිසා ය. ඇයි හත්දෙයියනේ පිටට ඇහෙන්න කෑ ගැහුවම ‍පවුලේ නම්බුවට මොකදෑ වෙන්නෙ)

අපට ද විරුද්ධ පක්ෂය සමග තරහක් කෝපයක් ඇත. ආණ්ඩුව කරන දේ විවේචනය කරමින් ආණ්ඩුව කරන වැඩවලට තිතක් තැබීමේ ලා විපක්ෂය අපොහොසත් වීම ගැන ය. යම්තම් හීන් කෙදිරියක් දමා ඒ හරහා බලය තමන්ගේ ඔඩොක්කුවට වැටෙන කම් බලා ඉදිම ගැන ය.

විපක්ෂය තියෙන්නේ විරුද්ධවීමට තමා යයි මේ කෑගහන එවුන්ට මතක් කර දෙන්නට කෙනෙක් නැත් ද?

Posted in: Uncategorized