දකුණු පළා‍තේ බත් යයි හිතාගෙන පිදුරු කෑමට ලක ලෑස්ති වන ජනතාවටයි මේ

Posted on September 16, 2009



තිස්සමහාරාමයේත් හම්බන්තොටත් ආණ්ඩුව මැතිවරණ රාජකාරි පටන් අරගෙන ය.

කුඩු කර ගිනි තබා අලාභ හානි කර තිබෙන්නේ තමන්ට ආණ්ඩුව හදා ගන්නට අත හිත දුන් ජවිපෙ මැතිවරණ කාර්යාලයන් ය. එජායටත් වඩා ජවිපෙය දකුණේ ආණ්ඩුවට තර්ජනයක් වන බවට, අඩු වශයෙන් මේ මොහොතේ තර්ජනයක් විය හැකි බවට, ආණ්ඩුව විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ.

ඉතින් ඒ නිසා මේ කටයුත්ත යුක්ති යුක්ත ය.

බලය යොදා යටපත් කළ හැක්කේ එල්ටීටීය පමණක් නොවේ. ආයුධ ගත් එල්ටීටීයත් යටපත් කළ අයට නිරායුධ ජවිපෙයත් වැඩක් ද?

බලය ඇත්තේ කොහිද කාක්කෝත් එතැන ය. බලය පෙන්වන්නේ හෙළුවෙන් ද ඇදුම් ඇදගෙන ද යන්න කාක්කන්ට තියා ජනතාවටත් වැදගත් නැත.

බලයට වැද පුදා තමන්ගේ දහ අනුවක් රෝග අට අනුවක් ව්‍යාධිවලින් එකක් හෝ විසදා ගත හැකි නම් අපූරු ය. ලොකු පුතාට රස්සාවක් අරන් දෙන්නට සද්ද විද්ද පටබැදිලාගේ සෝමවංශ අමරසිංහට බැරි ය. එහෙත් ඒ සදහා උදව්වක් දීමට රෙද්ද අඩු රාළලාගේ අනර්කලීට හෝ සීනුව වික්ක රාළලාගේ විමල් වීරවංශට පුලුවන.

එහෙම එකේ බලය වේසකමේ යෙදවුවද ඒ ගැන චන්දදායක මුදියන්සේලාගේ දේශප්‍රියට ඇති ගැටලුවක් නැත.

ඒ නිසා මෝඩ අප්පුලාගේ සීනුරාලලා දෙන්නා වූ චන්දයක් වේ නම් එය වළක්වා ලීම සදහා හිරිකිතයක් නැතිව මහදවාලේ බලය යෙදීම ලජ්ජාවක් ගැන හැගීමක් නැතිවම කළ හැකි ය.

බලයම සත්‍ය වේ. ඉතිරි සියල්ල බොරු ය. නැවත වතාවක් මේ චන්දයෙන් ද ඔප්පු කරමින් සිටින්නේ එය යි.

බත් යයි හිතාගෙන පිදුරු කෑමට පුල පුලා බලා සිටින දකුණේ ජනතාවටයි, මේ පණිවුඩය.

මින් මත්තට කඩා බිද දමපු ජවිපෙ කාර්යාලයක් ලගින් යන්නට වුනොත් නොදැක්කා සේ පලයන් ය.

Advertisements
Posted in: Uncategorized