අනර්කලීලා රැක ගන්නට හදිසි මෙහෙයුමක්!

Posted on September 14, 2009



මිනිසුන්ගේ හැගීම් ඇවිස්සෙන කාන්තා රූප පත්තරවල හා සගරාවල යොදා ගැනීම නැවැත්විය යුතු යැයි රජයෙන් පුවත්පත් ආයතන වෙත යෝජනාවක් කර ඇත.

සමහරු නම් කියන්නේ අනර්කලීගේ හැඩ රුව පෙන්වන පින්තූර යොදාගැනීමෙන් පත්තර කරුවන් වළක්වන්නට මේ මෙහෙයුම දියත් කර ඇති බව ය.

ඇත්තටම මොකක් නිසා කළ ද වැදගත් වැඩකට වැදගත් තැනක් ලැබිය යුතු ය. අප මේ බ්ලොග් සටහන මේ මෙහෙයුම වෙනුවෙන් වෙන් කරන්නේ ඒ පරම පවිත්‍ර චේතනාවෙනි.

ඉස්සර වික්ටෝරියානු යුගයේ කාන්තාවන් ඉතා දිග ගවුම් අදින කාලයේ ඔවුන්ගේ වළලු කර දැකීමෙන් මිනිසුන්ගේ හැගීම් ඇවිස්සුනු බව වාර්ථා වී තිබිණි. ඒ නිසා කාන්තාවන්ට දිග ගවුම් පැළදවීමේ මේ මාධ්‍ය මෙහෙයුමෙන් සිදුවිය හැක්කේ ඇගිලි තුඩු දුටු පමණින් හැගීම් ඇවි‍ස්සෙන ජනතාවක් බිහිකිරීම ය.

සමහර මුස්ලිම් රටවල මුලු ඇගම වැසීමෙන් නොනැවතී ඔලුවත් මුහුණත් ආවරණය කරගන්නේත් ඇස් දෙකත් ඉන් අනතුරුව දැලකින් වසාලන්නේත් මේ හේතුවම නිසා විය යුතු ය. ඒ නිසාම දැල අතුරින් බලන ඇස්දෙකෙන් මිනිසුන්ගේ හැගීම් ඇවිස්සෙන්නේදැයි කෙනෙකුට ඇසිය හැකි ය. එවිට ඇස් දෙකත් වසා දැමීමට සිදුවේ.

නාරිලතා පුෂ්පයක් දැක තවුසෙකුගේ දැහැන් බිදුණු කතාවක් අප අසා ඇත. එවන් ලෝකයක හැගීම් නොඇවිස්සෙන කාන්තා රූපයක් සොයා ගැනීම කළුනික සොයනවාට ද වඩා අමාරු ය. ඇත්තටම ප්‍රශ්නය ඇත්තේ කාන්තා රූපයේ නොව හොර්මොන ක්‍රියාකාරිත්වය විසින් මෙහෙයවන මිනිසුන්ගේ ප්‍රජනන පද්ධතිය තුළ ය.

ඒ නිසාම මීට වඩා පහසු වැඩක් මිනිසුන් හැගිම් ඇවිස්සීමෙන් වළක්වා ගැනීමට අපට යෝජනා කළ හැකි ය (අපි මේ හදන්නේ හොද වැඩක් කඩාකප්පල් කිරීමට නම් නොවේ. එයට බකප් එකක් දීමට ය). මුස්ලිම් රාජ්‍යවලට නොවේ. අපේ ආණ්ඩුවට ය.

යෝජනාව පිරිමින්ගේ රහසග කපා දැමීම ය.

පෙර කළ චීන අධිරාජ්‍යයේ මාළිගාව තුළ වැඩ කර ඇත්තේ එසේ රහසග අහිමි කරන ලද පිරිමි ය.

ඇත්තටම මේ මගින් සදාචාරය ඉතා ඉහළින් රැකෙනු ඇති අතර ගෑණීයකුට නිරුවතින් වුව මාගම සිට යාපා පටුනට නැවත ගමන් කිරීමට හැකි වනු ඇත. අනර්කලීට වුව තමන්ගේ සුන්දර පෙනුම බය නැතිව නිරාවරණය කරලීමට ද ඉන් අවස්ථාවක් ලැබේ. අනර්කලීගේ අයිතිකරුවන්ට මින්පසු මහ රෑ සිහිනෙන් බිය වී අවදිවන්නට ඕනෑ නැත.

නායකකාරාදීන්ට මිසක ඔය රහසගෙන් සෙසු පිරිමින්ට එතරම් වැඩක් නැත. පොලීසියට අහුවුනාම ලාච්චුවට දමා ඉස්සෙල්ලාම දඩුවම් කරන්නේත් ඕකට ය.

මතට තිත ලගට ඊළගට තැබිය යුතු තිත කුමක්දැයි දැන් පෙනෙන්නට තිබේ.

ඊට දිය හැකි ඉහලම අනුග්‍රහය සැපයීම මේ යුගයේ දේශප්‍රේමීන් සතුව ඇති අත්හැරිය නොහැකි වගකීමකි.

හැගීම්වලින් තොර රටක්! විනයෙන් සපිරි ජාතියක්! මතින් මසින් ලිංගිකත්‍වයෙන් තොර තවුස් ජීවිතයක්!

ආණ්ඩුවේ සදාචාර මෙහෙයුමට ජයවේවා! අපේ රජතුමාට ආයුබෝවේවා!

Posted in: Uncategorized