පුටුව වැටී රජතුමා බිම! කුමන්ත්‍රණයක් දෝ යයි පැනයක්!

Posted on September 14, 2009



රජතුමා පුටුවෙන් බිමට වැටීම හොද නැත. මේ ආරංචිය අපට ගෙනාවේ අපට ප්‍රතිචාර දැක්වූ සහෘදයෙකි. ඒ ලංකාඊනිව්ස් හි පළවූ ප්‍රවෘත්තියක් සබදතාවය ද සමග මීට ඉහත බ්ලොග් සටහනේ සංවාදයේදී උපුටා දක්වමිනි.

එය තනතු‍රෙන් පහවෙන බවට ලකුණක් යයි කියමින් විපක්ෂයේ කට්ටිය මෙන් ප්‍රීතිවන්නට අප මේ බව දැනුම් දුන්නා නොවේ.

සෙනසුරා මාරුවීම කන්‍යා ලග්නයට අගුණ යයි කියමින් කෑගසන නක්ෂත්‍රකාරයින්ගේ කතා අප විශ්වාස කරන්නේ නැත.

එහෙත් අපට මහා ප්‍රශ්නයක් ඇත.

රජතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා යයි කියන කුමන්ත්‍රණයේ මෙය කොටසක් වන්නට බැරි ද?

එකත් එකටම ඩොලර් කීපයක් මිට මොළවා අධිරාජ්‍යවාදී හැත්ත කාව හෝ යෙදුවා වන්නට බැරිද?

ත්‍රස්තවාදය පරදවා ලෝකයටම ආදර්ශයක් දුන් රාජ්‍ය නායකයෙකු දෙස ඉරිසියාවෙන් බලන රටවල් මේ පිටුපස සිටියා වන්නට බැරි ද? ප්‍රශ්නය වඩාත් දරුණු උන් හෝ උන්ගේ ගැත්තන් රජවාසල කටයුතුවලටත් හොරෙන් රිංගා තිබීම ය.

පොලිස් කණ්ඩායම් කීපයක් ද රහස් පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ද යොදවා මේ පිටුපස සිටින කඩාකප්පල් කාරයින් වහාම නීති‍ය හමුවට ගෙනා යුතු ය.

සිද්ධියෙන් පසු රජතුමාට තරහ ගොස් ඇති අතර නැවත වාඩිවීම පවා ප්‍රතික්ෂේප කර ඇත. ආපු ලජ්ජාවට සම්මාන කීපයක් දී හිමිහිට මාරුවී ගොස් තිබේලු.

පෙර රජදවස නම් ඔහොම තරහ ගිහින් ඔය නාඩගම ඔය විදිහට අවසන් වන්නේ නැත. නිසි දඩුවම් ලැබීමට අඩු වශයෙන් කද මහත ඇති කෙනෙකු හෝ හොයා ගන්නවා ඇත. අපේ රජතුමා ඒ අතින් යහපත් ය. අප දන්නා තරමට කාගේවත් බෙල්ලක් මේ නිසා මෙතෙක් ගොස් නැත.

Advertisements
Posted in: Uncategorized