රජතුමා සිය සගයෙකු බේරා ගැනීමට තම අත දිගුකරයි! මෙහෙම රජවරු ලැබෙන්නේ අප පෙර කල පින් කළ ඇති නිසා ය!

Posted on September 10, 2009



මිලියන අනූවක් යනු ලක්ෂ නමසියයකි. එනම් කෝටි 9 කි. ඒසා විශාල ගානක් කැබිනට් සගයකුගේ සින්න වෙන්න යන දේපළක් බේරා ගැනීම සදහා ජනතාවගේ බදුමුදල් යෙදවීම මගින් පෙන්නුම් කරන්නේ රජතුමාගේ හිතේ ඇති මහා කාරුණික භාවයයි.

කැබිනට් සගයා තොණ්ඩමන් ය. දැනට ගෙන යන වතු සටනේ දේශපාලනයක් නැති බව නැවත නැවතත් තහවුරු කර කියන මේ දිනවල මේ සටන නිසා රජතුමාට හිතේ අමාරුවක් ඇති වෙතැයි තරමක් අපහසුතාවයෙන් කල් ගෙවන තොණ්ඩමන් ය.

ගෙවීම විදුලි හා බලශක්ති අමාත්‍යාංශය තොණ්ඩමන් මහතාගේ ගොඩනැගිල්ලකට ගෙන යාම වෙනුවෙනි.

අනුමැතිය තොණ්ඩමන් මහතා ද සමාජිකයෙකු වන කැබිනට් මණ්ඩලයෙනි.

ඒසා විශාල මුදලග් ගෙවා ඇත්තේ වසර පහක කුලිය හැටියට ය. ඇත්තටම කිසිම ලෝස් එකක් නැතිව ඒ වසරේ පහේම කුලිය එක වර ගෙවා ඇත. එයද හොද ගුණාංගයකි. සල්ලි අතේ තියෙනවා නම් ණය තියාගෙන ඉන්නේ කුමකට ද? අනිත් අතට ඇමතිවරයෙකුට ආණ්ඩුවක්ම ණය වීම හොද දෙයක් නොවේ.

ධීවර ඇමති තුමා ධීවර සංස්ථාවෙන් මාලු ගෙන ත්‍රිවිධ හමුදාවල පරිභෝජනය සදහා විකිණිම තමන්ගේ නමින් ලියා ඇති කොම්පැනියකින් කරන රටක මේවාත් වැඩ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය.

තමන්ගේ හිතේෂීන්ට උපදේශක පදවි පිරිනමා කෝටි ගණන් ජනතාවගෙන් එකතු කරන බදු සල්ලිවලින් සංග්‍රහ කරන රටක මේවා මතුකරන්නේ ඇයි දැයි කෙනෙකුට ඇසිය හැකි ය.

පුංචි ‍මිනිහෙකු අල්ලස් ගත් කළ ක්‍රියාත්මක වන අල්ලස් හා දූෂණ කොමිසම මේවා සම්බන්ධයෙන් මුණිවත රකින්නේ සමහර ඒවා ප්‍රශ්න නොකර ඉන්නා තරමට සෞඛ්‍යයට හොද නිසා දැයි තවත් කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය.

කොටින්ට අයත් ආණ්ඩුවේ නොවන සංවිධානයකට රජතුමාගේම අණින් මිලියන 500ක් දුන්නා යයි කියන එකේ ගොඩනැගිල්ලක කුලිය ලෙස මිලියන අනූවක් අවිහිංසාවේ මූර්තිය ලෙස සැළකිය හැකි සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුබුරාට ගෙවීම එතරම් ගැටලුවක් නොවේ යැයි කෙනෙකු කිචේට කියන්නට පුලුවන.

ඒවා නිකම් කතා පමණ ය.

කතාවට යන්නේ නම් තමන්ගේ හිතේෂීයෙකුට තෑග්ගක් දෙන්නත් බැරි නම් එහෙම රජ කමකින් ඇති වැඩේ මොකද්දැයි රාජපාක්ෂිකයින් ප්‍රශ්න කරන්නට පුලුවන. ඒ නිසා ඔය විගඩම් කතා වලින් දැන් වැඩක් නැත.

දැන් ඕනැම දෙයක් විය හැකි කාලයකි. අවශ්‍ය රජතුමාගේ අණ ආඥාව පමණකි. අනිත් අයට ඇත්තේ ඉවසා වදාරන්න ය.

ඉවසීමට නියමිත අය අතර මේ වසරේ පඩි වැඩිවීම් තාවකාලික අත්හිටුවා ඇති රජයේ සේවකයින් ද ඇතුළත් ය. ඊයේ පෙරේදා මෙවැනි පුංචි දෙයක් වත් දරා ගන්නට බැරි විදුලි බල මණ්ඩලයේ හා ජල සම්පාදන මණ්ඩලයේ පිදුරු කන අමනයෝ ටිකක්  උද්ඝෝෂණය කළ බව හැබෑ ය. කොතැනත් එවැනි අමනයෝ සිටිති.

එසේ ඉවසන්නට බැරි එවැනි හා අප වැනි අමනයන්ට නිර්නාමික බ්ලොග් සටහනක් ලියා හිත හෑල්ලු කර ගත හැකි ය. පිදුරු කන අපි වෙන මොනවා කරන්නද? මොකද හරි හරියට බත් කන අය දෙස බලා හූලන්න ද?

නිමල් සිරිපාල අයියා මතක් වන්නේ එවැනි වෙලාවලට ය.

Posted in: Uncategorized