සෙනසුරු මාරුවෙයි! නෑදෑයින් ඇති අයට නිදහස! අවතැන් කදවුරේ රැක්ක බිත්තර විකිණෙයි!

Posted on September 9, 2009



නෑදෑයින් ඉල්ලීමක් කරන්නේ නම් අවතැන් කදවුරුවල ඉන්නා අය නිදහස් කළ හැකි යයි රජය තීන්දු කර තිබේ.

පරක්කු වී හෝ මොළය පහළ වීම මොළය පහළ නොවී ඉන්නවාට වඩා හොද ය. අඩු වශයෙන් නිදහස ලබන ජනතාවගේ පැත්තෙන් හොද ය.

මෙතෙක් ඔය තීන්දුව ගන්න පමා වූයේ ඇයි ද කියාත් තීන්දුව ගන්නට බල පෑ පීඩනය ආවේ කොහෙන්දැයි කියා ත් අසමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට විරුද්ධ පක්ෂයට දැන් පුලුවන.

කප්පරක් වටිනා උපදේශකයින් සිටියදීත් උන්ට කෝටි ගණන් පඩි ගෙවමින් තිබෙද්දීත් මෙවැනි පුංචි උපදෙසක්වත් ආණ්ඩුවට දෙන්නට උන්ට මෙපමණ කාලයක් ගත වූයේ ඇයි දැයි පවසමින් තවත් ඩෑෂ් පහරක් ද එල්ල කළ හැකි ය.

කොහොමටත් යමක් කමක් කරගන්න පුලුවන් අයට ආණ්ඩුවල දේශපාලනඥයින්ගේ පමණක් නොව නිලධාරීන්ගේ ද බැල්ම හිමි වන බව අපි දනිමු. ඒ ගැන කුල කියමින් මේ තීරණය හැල්ලු කරන්නට පුලුවන.

දැනටමත් රු500000 ක පමණ මුදලක් ගෙවීමට ඇති හැකි අයට කොළඹට හෝ රටින් පිටවීමට ජාත්‍යන්තර ගුවන්තොටුපලට හැරලීමට සමත් තැරැව් කරුවන් ඉන්නා බව ඉරිදා ටයිම්ස් පත්‍රය වාර්ථා කර තිබුනේ ය.  මේ තැරැව් කාරයෝ ඇත්තටම සාධාරණ ය. වවුනියාවේ නිදහස් කිරීමට ඔවුන් අය කර ඇත්තේ රු100000 ක් පමණ ය.

ඇත්තටම මේ කටයුතු දෙක සදහා කලින් පිළිවෙළින් රු750000 ක්ද රු 200000 ක්ද බැගින් අයකරමින් තිබූ බවත් බොහෝ දෙනා  මේ වෙළදපොලට ඇතුළු වී ඇති නිසා මෙසේ මිල අඩුවී ඇති බවත් එම පත‍්‍රයම වාර්ථා කර තිබිණි.

හැම තහනමක්ම කළුකඩයක් නිර්මාණය කරයි. නව වෙළද කුලයක් -බලයට කිට්ටු අයට සම්බන්ධකම් ඇති වෙළද කුලයක් – නිර්මාණය කරයි. මේ බව අවබෝධ කරගැනීමට ආර්ථික විද්‍යාව ගැන පොත් කියවන්නට අවශ්‍ය නැත. ඒ සදහා අවශ්‍ය මෙවන් රටක ජීවත්වීම පමණකි.

අවතැන් කදවුරු වල අමුතු තාලයේ බිත්තර වගයක් පරිස්සමින් රකිමින් ඇතැයි ද ඒ ඊලග කැරැුල්ලේ බිත්තර යයිද අපි බ්ලොග් සටහනකින් කියා සිටියෙමු.

දැන් මේ එලියට එන්නේ පැටවුන් ඒමට පෙර අනුභවය සදහා විකිණීමට බලාපොරොත්තු වන බිත්තර ය. බිත්තර වලින් එවැනි ප්‍රයෝජනයක්ද ඇතැයි බිත්තර ගැන දන්නා අය දනිති.

විකුණන්නේ ලගදී එන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කට්ටියට ද ජීඇස්පී ප්ලස් දෙන්නට හෝ නොදෙන්නට හදන යුරෝපා හවුලට ද එසේත් නැත්නම් අපට රක්ෂන අධිභාර පනවන්නට තැත් කරන ලොයිඩ්ස් ආයතනයේ පරිභෝජනයට ද කියා කිසිවෙක් ආණ්ඩුවෙන් නොඇසිය යුතු යයි අපි නැවත වතාවක් කියමු.

මේ කුමක් වන්නේ දැයි දැන ගෙන සිටියාම අපට ඇති ය.

කුමක් හෝ පිනකට අවතැන් ජනතාව නිදහස ලබයි නම් අපට සතුටු ය. උන් පමණට වඩා දුක් විද ඇති බැවිනි.

Posted in: Uncategorized