රජතුමා පඹ ගාලක පැටිලිලා ය. ගෙදර ගියොත් අඹු නසී- මග හිටියොත් තෝ නසී වගේ එකක ය!

Posted on September 6, 2009



රජතුමාට තව වසර දෙකක කාලයක් තිබේ. එහෙම තිබියදී තදියමින් ජනාධිපතිවරණයක් තියන්නට හදන්නේ රටට තියෙන ආදරේට ය. ජනාධිපතිවරණයකදී රජයේ මුදල් වියදම් වේ. එසේ වියදම් කළ ද විපක්ෂය කියන විදිහට රටට එයින් පාඩුවක් සිදුනොවේ. මුදල් නාස්තියක් වුව ද එවිට මුදල් සංසරණය වැඩිවි රටේ ආර්ථිකය යහපත් වේ. බලන්න අපට නොපෙනෙන දෑ පෙන්වා දෙන අලුත් ආර්ථික විද්‍යාඥයින්ගේ කුඩා මොළයේ මහත!

“මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසැප පිණිස නොව මහජනතාවගේ හිත සුව පිණිස ය.”

දැන් මේ දොරේ ගලන්නා වාගේ ගලන ඡන්ද හෙටත් ගලාවි දැයි පුංචි විචිකිච්ඡාවක් ඇත. ජීඇස්පී අල ගෙඩිය නැතිව ගියොත් හෝ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණයේ ඊළග කොටස අල වුවහොත් හෝ අප කාලා හමාර ය. එන පොට හොද නැත. මේ යාම්තම් අටවා ගෙන හිටින අට්ටාලය කොයි මොහොතේ කඩා ‍වැටෙන්නට පුලුවන. ඒ නිසා අවුරුදු දෙකක් තව බලා ඉදීම ම නුවණට හුරු නැත. එහෙම අර්බුදයකදී දැන් දෙකේ කොළයට වැටී ඇති විපක්ෂය අලු ගසා නැගිටින්නට පුලුවන. සමහර විට දැනටමත් කලකිරී ඇති ආණ්ඩු පක්ෂයේ කොටසක් විසින්ම එය නැගිට්ටාවි දැයි අප දන්නේ නැත.

හැබැයි ති‍බ්බොත් පොඩි පළහිලව්වක් වෙයි. ජනාධිපති හැටියට කල් ඉකුත් වන්නට කලින් දිවුරුම් දිය යුතු ය. එසේ දුන්නොත් දෙවැනි වාරය එදා සිට ගණන් ගැනේ. එවිට දෙවැනි වාරය අඩුවේ. කාලෙකින් නොලැබුණු ජනපති කෙනෙක් ලැබුණු රටට එයින් වන්නේ ද අවනඩුවකි.

තුනෙන් දෙක ලැබේ නම් ගැටලුවක් නැත. අවශ්‍ය සංශෝධනයන් කරගෙන එවිට දැහැමෙන් සෙමෙන් කැමති ආකාරයට රාජ්‍ය විචාරිය හැකි ය.

දැනට නම් එහෙම ලැබෙන්නට පෙනුමක් තිබේ. තවත් මාස කීපයක් යනවිටත් එහෙම තිබුනොත් හොද ය. නැත්නම් අනාථ ය.

උපදේශක වරු හැත්ත බුරුත්තක් හිටියත් මේ සම්බන්ධයෙන් උන්ගේ උපදෙස් ගන්නට ද එතුමාට බලාපොරොත්තුවක් නැත. ජේ ආර්ට වගේ ඒ කාලේම තුනෙන් දෙකක් දුන්නේ නම් මේ කරදරය නැත. එහෙනම් ව්‍යවස්ථාවට වැඩිම සංශෝධන එකතු කළ හැටියට වාර්ථ‍ාවක් ද තබා සමුගන්නට ඉඩ තිබුණි.

ඒ වරම ලැබුනොත් නම් එහෙම කරන්නට බලාපොරොත්තුවක් ඇත. ඒත් මේ ජනතාව! උන් මොන පිස්සුවක් කෙළී දැයි කාටවත් කියන්නට බැරි ය. ආසන අටට බැස්සූ එජාපයම උන් හයෙන් පහක් ලබා දී බලයට පත් කළෝ ය. උන් දැන්නම් “බත්” කන බව පෙනේ. එහෙත් ඉතිහාසයේ කළාක් මෙන් “පිදුරු” කන්නට හිත හදාගත්තොත්!

අනේ අපොයි මටත් විසදන්න වෙලා තියෙන ප්‍රශ්න!

(දිවුරුම් දීම හා දෙවැනි ධුර කාලය පිළිබද ව්‍යවස්ථා ප්‍රතිපාදන සළකා බලා ජනාධිපතිවරණයට දින තීන්දු කරන බව රජයේ ප්‍රකාශයෙක් පසුදාක සදහන් කර තිබිණි.)

Posted in: Uncategorized