ගල් පහර වැදුනේ කොන්දොස්තරට වුව ද එහි එල්ලය ගමනාගමන පරිපාලනයට ය!

Posted on September 5, 2009



පිටකොටුවේ බස් නැවතුමේ බස්රථයකට ගල් ගසා කො‍න්දොස්තරට ද තුවාල සිදු කර තිබේ. ඒ මගීන් පිරී තිබියදීත් බස්රථය නොයාම සම්බන්ධයෙනි. විරෝධය එල්ලවී ඇත්තේ මගීන් ගෙනි.

බස්මගියෙක් හැටියට මේ ගැන සතුටු විය හැකි ය. හැමදාමත් කරන හිරිහැරය නිසා කොහොමටත් අපට උන් සමග බේරා ගැනීමට ගනුදෙනුවක් ඇත.

එහෙත් මට මුළුමනින් සතුටු වීමට බැරි ය. ඒ මිනිසුන් විසින් නීතියට තමන් අතට ගැනීම නරක පුර්වාදර්ශයක් සපයන බැවිනි. මෑතක අවස්ථාවක ගණනාවකම එසේ නීතිය මිනිසුන් අතට ගත් අවස්ථා වාර්ථා විය.

මේ තත්වය නරක අතට හැරී කාගේ හෝ වුවමනාවකට මිනිසුන් රැසක් කුලප්පු කරවා අහිංසක මිනිසෙකුට වුව ද පහර දීමේ සම්ප්‍රදායක් මෙයින් බිහිවන බැවිනි.

ඇත්තටම මේ ගල් ගහන්නට තිබුනේ නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට අසමත්ව සිටිනා පාලකයින්ට ය. අප සැබෑ ලෙස දුක්විදින්නේ බස් රථ පාලනය කර ගැනීමට බැරි උන්ගේ නොහැකියාව නිසා ය.

මෙයින් අදහස් කරන්නේ බස්රථ අයිතිකරුවන් කොන්දොස්තරවරු හෝ රියැදුරන් අහිංසක බව නොවේ. උන්ව පාලනය කිරීමට ඉන්නා උන් කිසියම් හේතුවක් නිසා අහක බලාගෙන ඉන්නා එක උන්ට උඩ ගෙඩි දීමක් වී ඇති බැවින් විරෝධය අදාළ අධිකාරීන් වෙත ද යොමුවිය යුතු බව ය.

බස්රථවල වැඩ කරන්නන්ට ද ප්‍රශ්න තිබේ. පර්මිට් ගන්න එකේ පටන් හැම එකකටම සල්ලි දෙන්න ඕනෑ ය. මැතිවරණ අරමුදල්වලට හා වෙනත් උත්සවවලට ද අනුග්‍රහ සපයන්න ඕනෑ ය. සියල්ලේ මිල ඉහළ ගියද බස්ගාස්තු නංවන්නට අවසර ගන්නට ද ඕනෑ ය.

ඒ එකක්වත් මගීන් රස්තියාදු කිරීමට සාධාරණ කාරණා නොවේ. ඒවාට උත්තර එක්වී සපයා ගන්නේ නැතුව ඒවායේ බර පැන මගීන්ගේ කරපිට දැමීම සාධාරණ වන්නේ ද නැත.

මගීන්ට සාධාරණ සේවාවක් සැපයෙන පරිදි ද බස්රථ ධාවකයින්ට සාධාරණ වෙළද අවස්ථාවක් ලැබෙන පරිදි ද මේ කටයුත්ත සංවිධානය කිරීමේ වගකීම ඇත්තේ ප්‍රවාහන කොමිසමට හා ගමනාගමන පරිපාලනයේ නියුතු බලධාරීන්ට ය. අපගේ හිතවත් ගරු ඩලස් අයියා ට ය.

ඒ නිසා මේ ගල් පහර වැදුනේ කාට වුව ද එය එල්ල කර ඇත්තේ නම් මේ අධිකාරියට ය. මොළේ ඇත්නම් ඔවුන් මීට සංවේදී වනු ඇත. ඉතිහාසය නම් අපට කියා සිටින්නේ වෙනස් කතාවකි.

Advertisements
Posted in: Uncategorized