එක් රටක්! එක් පාතාලයක්! අනුග්‍රහය ‍විදේශසේවාව! තනියම නොවේ කෙරුමක්කාරයින් සමග එක්ව ය.

Posted on September 4, 2009



අසිත පෙරේරා දකුණු කොරියාවේ ශ්‍රීලංකා මහකොමසාරිස් වරයා ය. එම තනාපති කාර්යාල‍ය‍ට සුභ සාධන නිලධාරී තනතුරක් දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පත් කර යවා ඇති මොහොමඩ් සුහෙයිබ් යන තැනැත්තා සතුව වලංගු පාස්පෝට් හා වීසා බලපත්‍රයක් නැති නිසා ඔහුව නැවත ශ්‍රී ලංකාවට එවීමටත් නැවත වසර පහක් යන තෙක් ඔහුට සිය රටට පැමිණීමට තහනම් කිරීමටත් කොරියන් රජය උත්සහ දරා ඇත. ඒ අතර මේ පුද්ගලයා තම රැකියාව ලබා ගැනීමට ඉදිරිපත් කර තිබු සහතික ද ව්‍යාජ ඒවා බව පෙනී ගිය නිසා ඔහුගෙන් ඒ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ද ලිඛිතව කරුණු විමසීමක් කර ඇත. එයට පවා පිළිතුරු සපයා නැති ඒ නිසාම ලංකාවට කැදවා ඇති මේ නිලධාරියා වෙනුවට වෙනත් කෙනෙක් ඒ තනතුර සදහා පත්කර ඇතත් මහ කොමසාරිස්වරයා ඒ පත්වීම පමා කරමින් මේ වංචනික නිලධාරියාට දිගටම කොරියාවේ රදවා ගැනීම සදහා නීතිවිරෝධි සේවා දිගුවක් ද ලබා දී ඇත.

මෙම මහකොමසාරිස් වරයාම  (මියගිය සහෝදර සේවකයෙකුට ලැබිය යුතු රු මිලියන 5 ක වන්දි මුදලක් වංචනික ලිපි සකස් කර ලබා ගත්) තුෂාර පෙරේරා යන තවත් වංචනිකයෙකුට එම වංචාවෙන් ගැලවී කොරියාවෙන් පැන බ්‍රිතාන්‍යයට යාමට හැකිවනසේ තනාපති කාර්යාලය තුළ රදවා ගනිමින් උදව් කර ඇතැයි ද කියවේ. ඒ 2008 ය.

මේ සදහා විස්තර ඔබට ලංකාඊනිව්ස් වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

වත්මන් කතාවත් අතීත කතාවත් එක් කර ගත්විට මතුවන්නේ එකම ඛේදනීය වෘත්තාන්තයකි.

වංචනිකයින් රකින එසේ කරන අය රකින විදේශ සේවයක් රාජ්‍ය සේවයක් පාලනයක් අප උරුම කරගෙන ඇති බව ය. 2008 දී මුකුත් නොකෙරුන නිසා 2009 දී ද මේ ජරාව බාධාවකින් තොරවම ක්‍රියාත්මක වන බව ය.

මර්දනය කරන්නේ කුමන පාතාලය ද වර්ධනය කරන්නේ කුමන පාතාලය ද යන්න මෙයින් වටහා ගත හැකි ය. එකක් නම් පෙනේ. මේ සටන කිව්වත් වගේ එකම පාතාලයක් වෙනුවෙනි. එය රජයේ ආශිර්වාදය ලබන පාතාලයයි. ඉදිරියේ පවතින්නට වරම් ඇත්තේ ඒ පාතාලයට ය.

අප අසිත පෙරේරා මහතාට ද යුක්තිය ඉෂ්ඨ කළ යුතු ය. මේ කොන්ත්‍රාත්තුව ඔහුගේම ද එසේ නැත්නම් වෙනත් බලවත් පාර්ශවයක් වෙනුවෙන් ඔහු ඉටු කරන්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කවර ආකාරයකින් කළ ද එය වැරදි බව ඇත්ත ය. එහෙත් ‍බොහෝ අය මෙවැනි වැරදි කරන්නේ ගැලවීමේ මාර්ගයක් ද ඇතිව ය. එසේ නැතිව දිගටම මෙවැනි අතේ පත්තුවන වැඩ කරමින් මහකොමසාරිස් තනතුරක වැජඹෙන්නට සුළු කෙනෙකුට බැරි ය. ඉහල අනුග්‍රහය නැතිව දිගින් දිගට මෙසේ සෙල්ලම් කිරීමට බැරි ය.

බොහෝ දෙනා අසිත පෙරේරාට දෙහි කපා මෙය අවසන් කරන්නට උත්සහ ගත්ත ද මේ තත්වයට කෙළින්ම වගකිව යුතු පාර්ශවයන් අන්තිම ඉහල පාලනයේ ද ඉන්නා බව ඇති තතු  ඇති සැටියෙන් බලන්නට සූදානම් කෙනෙකුට නම් පෙනී යා යුතු ය.

අප මේ සටහන ලීවේ ඒ බව කියන්නට ය.

Posted in: Uncategorized