නිර්නාමික BF, මෝඩ පාලකයෝ හා ජනතාවට අහිමිව ගිය ප්‍ර‍ජාතන්ත්‍රවාදය

Posted on September 2, 2009



BF යනු ඇස්-ඉස්-මස්-ලේ නැති නිර්නාමිකයෙකි. ඌ කළු ද සුදු ද? ඌ ඉන්නේ කොහේද? ඌ රස්සාවට කරන්නේ කුමක් ද? ඉහත කාරණා සියල්ල වසංවී ඇත. ඒ නිසා ඌ ලියන දේ නොරිස්සන අයට සිදුව ඇත්තේ උගේ මතවාදයට ගැහීම පමණ ය. ඒ ඇරුණහම එන්ජීඕ වලින් පඩි ගන්නා ඩොලර් කාක්කෙක් බවට චෝදනා කිරීමට පමණ ය. පොර කවුදැයි නොදැන ගහන ඒ ගැහිල්ලේ පවා හයියක් නැත.  බොහෝ දෙනෙකුට මල පැන ඇත්තේ මේ නිසා ය.

BF නිර්නාමිකයෙකු වූයේ රටේ වැරැද්දෙනි. ඇත්තටම නිර්නාමිකයෙකු වීමට අවශ්‍ය පරිසරය රට BF ට උරුම කළේ ය.

ඒ යම්තම් හෝ විරුද්ධවාදී අදහසකට ඉදිරිපත් වීමට තිබූ සියලු මං බලහාත්කාරය යොදා අහුරා දමමිනි.

ලසන්ත මරා දමන, පොද්දලට ගුටි අණින, උපාලි වැනි එකෙකුට පවා කොටන, තිස්සනායගම්ලගේ දිවි‍ෙය් හොදම කාලය ඉවරවන තෙක් හිරේ දමන රටක නිර්නාමිකයෙකු වීම ගැන BF ට දොස් පැවරිය නොහැකි ය.

සිදුව ඇත්තේ කුමක් ද? BF නාමිකයෙකු ලෙස පෙනීසිටියේ නම් දෙවරක් සිතා ලියන්නට ඉඩ තිබුන කාරණා ද දැන් එසේ නොසිතා ලිවීමට BFට හැකි වීම ය.

නීත්‍යානුකූල අදහස් ප්‍රකාශ කිරීමට බාධා පමුණුවන හැම රටක්ම අඩු වැඩි වශයෙන් මේ තර්ජනයට මුහුණ ‍ෙදන්නේ ය.

ජාතිය හා ආගම මුල් කරගෙන පක්ෂ ගොඩ නැගිය නොහැකි යයි නීති පනවන විට පවා කල්පනා කළ යුත්තේ එලිපිට කරන්නට ඉඩ නොදෙන බොහෝ දෑ ඒ නිසා ම යටින් හොර රහසේ සිදුකිරීඹ යුක්ති යුක්ත කරවන බවත් එයින් පාර හදා දෙන්නේ ඉවක් බවක් නැති කැරලි කාරිත්වයට බවත් ය.

තිස්සනායගම් හිරේ දැමීම ගැන ප්‍රීතියෙන් ඉපිල  ගොස් ඇති අයට නොපෙනේනේ ද එයයි.

ජේආර් ව්‍යාවස්ථාවට 6 වෙනි සංශෝධනය ගෙන එමින් සියලු මන්ත්‍රීවරු ඒකිය ව්‍යවස්ථාවකට ඇති පක්ෂපාතිත්වය පළ කරමින් නැවත දිවුරුම් දිය යුතු යයි යෝජනාවක් ගෙනාවේ ය. ඊට පසු සිදුවූ හරිය කියන්නට ඕනෑ නැත.

බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමට විවෘත ඉඩ සලසා දෙන්නේ මෙන්න මේ කැරලි කාරිත්වය පිටුදකින්නට ය. කැරැල්ල පේන දුරින් එලියේ තියා ගැනීමට ය.

එහෙත් බොහෝ මෝඩ පාලකයින් කැරැල්ල  එලියේ තියා ගන්නේ නැත. එය යටින් ඔඩු දුවා හිටි හැටියේ එලියට පනින විට සිදුවන්නට ඕනෑ විනාශය බොහෝ දුරට තහවුරු වී ඉවර ය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුත්තේ ජනතාවගේ හොදට පමණක් නොවේ. පාලකයින්ගේද ශරීර සෞඛ්‍ය පිණිස ය. එහෙත් වැරදි එලෝ කෝටියක් කරමින් ඉන්නා නිසා තමන්ටම විශ්වාස නැති තමන්ගේ ජනප්‍රියතාවය ගැන ඇති සැකය මෝඩ පාලකයින් බොහෝ දෙනෙක් මෙහෙවන්නේ මේ තැනට ය.

Posted in: Uncategorized