ලෝක සෞඛ්‍ය සේවයට ගුල්ලො ගහලා

Posted on September 2, 2009



ලෝක සෞඛ්‍ය සේවයට ගුල්ලෝ ගහලා ය. අර්බුදයට පිළියමක් සෙවීමට සභාපති තුමා සොයා යන අයට දැක ගන්නට ලැබුනේ එතුමා මැතිවරණ වේදිකාවල පිනුම් ගහන බව ය.

ගුල්ලන් ගහන්නට හේතුව ගෝලයන් බෙහෙත් ආනයනයෙන් පිල්ලි ගැහීම බව මේ අතර තතු දත් අය කියා සිටියහ.

ඒ බෙහෙත් බී සමහර රෝගීන් වලපල්ලට කරණම් ගැසූ අතර බියවූ රෝගීන්ගේ ඥාතීහු බෙහෙත් හොයා ෆාමසි කරා දුවමින් සිටිය හ.

විටෙක සේලයින් අහිමිවූ සෞඛ්‍ය සේවය විටෙක කල් ඉකුත්ව ගිය එන්නත් වලින් ලෙඩ විය. බෙහෙත් නැති කමෙන් පීඩා වින්ද වකවානුද මේ අතර වූ අතර සේවකයින් ලෙඩ වීම නිසා අසාධ්‍ය වූ අවස්ථා ද ඇතිවිය.

සමහරු රෝහල්වලට ඇතුළුවීමට පෙර තමන්ගේ කේන්දර බලවා ගත් අතර දුර දක්නා නුවණ ඇති අය අන්තිම කැමති පත්‍රය ලියා තබන්නට වෛද්‍යවරයාට පළමුව නීතිඥයින් හමුවූහ.

පිනුම් ගසා අවසන් වූ පසු සභාපති තුමා කළේ ජනතාවගේ පෝෂණ තත්වය සොයමින් ගෙවල් ගානේ යාම ය. එහිදී එතුමා සොයාගත්තේ සමහර දෙනෙක් බත් කෑවද තවත් සමහරු පිදුරු කන බව ය. බත් කන ජනයා වැඩියෙන් සිටීම පෝෂණ ගැන වගකිව යුතු ඇමතිවරයා හැටියට තමන් සතුටට පත්වන බව ඇමතිවරයා කියා සිටියේ ය.

ජනතාව නම් කිව්වේ මෙහෙම ගියොත් හැමෝටම කන්න වෙන්නේ පිදුරු බව ය.

ඒ ඉතින් ජීවත්වෙල හිටියොත්නෙ, සෞඛ්‍ය බලධාරීහු උත්තර බැන්දා හ.

සකල සිරින් පිරි සිරි ලංකාවේ ලෝක සෞඛ්‍ය නාටකය එයින් සමාප්තියට පත් විය.

Posted in: Uncategorized