අලුත් ප්‍රශ්න පත්‍රයක්- විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සදහා නොවේ!

Posted on September 1, 2009



උත්තර දීමට වඩා ප්‍රශ්න මතු කිරීම පහසු ය. එහෙත් පුදුමයකට මෙන් උත්තරවලටද වඩා ප්‍රශ්න භයංකර ය. විභාග කොහොමටත් චකිතයක් ඇති කරයි. මේ විභාගය ඇතිකරනුයේ කුමන චකිතයක් ද? විභාගයට මුහුණ දුන් පසු ඒ පිළිබද ප්‍රතිචාර ද දන්වා එවන්නේ නම් අගයමු.

  1. 1970 න් පසු හදිසි නීතිය නැතිව රට පාලනය කළ වැඩිම කාලය කොතෙක් ද යන්නත් ඒ කොපමණ කාලයක්ද යන්නත් සදහන් කරන්න.
  2. අවසාන වතාවට හදිසිනීතිය නැතිව ලංකාව පාලනය කළේ කවදා ද ඒ කොපමණ කලකට දැයි සදහන් කරන්න.
  3. ආණ්ඩුපක්ෂයේ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක්ව සිටියදී අධිකරණයෙන් දඩුවම් ලැබූ එක පුද්ගලයෙක් නම් කරන්න.
  4. සාමන්‍ය පුරවැසියෙකුට නීති ප්‍රකාර සේවය සැළසීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් දඩුවම් ලැබු රාජ්‍ය සේවකයෙකු නම් කරන්න.
  5. නිදහසින් පසු යුගයේ ජාතික ක්‍රීඩා කණ්ඩායමක නායකත්වය දැරූ එක් දමිළයෙකු නම් කරන්න.
  6. තමන්ගේ ආයතනයක සිදුවූ වැරැද්දක් සම්බන්ධයෙන් වගකීම බාර‍ෙගන සිය නිල‍ෙයන් අස්වූ රාජ්‍ය සේවකයෙකු නම් කරන්න.
  7. එසේ කළ ‍දේශපාලනඥයෙක් නම් කරන්න.
  8. තමන්ගේ නම සමරු ඵලකයකින් ඉවත් කර ඒ නිර්මිතය ඇත්තටම කිරීමට දායක වූ පුද්ගලයෙකුගේ නමක් දමන්නට කටයුතු කළ එක් දේශපාලනඥයෙක් නම් කරන්න.
  9. මෙය උරුම තමාට නොවේ යැයි කියා යම් තෑග්ගක් ප්‍රදානයක් සම්මානයක් හෝ ප්‍රශංසාවක් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයෙක් හෝ පුද්ගලයෙකු නම් කරන්න.
  10. මෑත කාලයේදී ආණ්ඩුවේ කිසියම් ආයතනයක් විසින් ඉදිකරනු ලදුව දේශපාලනඥයෙකු නොවන කෙනෙකු විසින් විවෘත කරන ලද බොක්කුවක් කක්කුසියක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් නම් කරන්න.
  11. ආණ්ඩුවේ සේවයේ නියුතු වෘත්තිකයින් පිරිසක් විසින් තමන්ගේ වෘත්තීය සමිති වාර්ෂික සභාවාරයක් දේශපාලනඥයෙකුගේ මූලිකත්වයෙන් තොරව පැවැත්වූ  අවස්ථාවක් නම් කරන්න.
  12. ශිෂ්‍යයෙකු විසින් පෙන්වා දෙන ලද වැරැද්දක් පිළිගෙන ඒ පිළිබදව ශිෂ්‍ය ප්‍රජාවගෙන් නිහතමානීව සමාව ගත් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් නම් කරන්න.
  13. මෑත කාලයේදී ටියුෂන් නොගිහින් සරසවි වරම් ලැබ ගත් ලාංකික ශිෂ්‍යයෙක් නම් කරන්න.
  14. තමන්ගේ සංවිධානයට අයත් ප්‍රබලයෙකු වැරැද්දක් කර අසූ වුන අවස්ථාවක ඒ පුද්ගලයාගේ පසුබිම නොබලා ඔහුට ඇයට දඩුවම් කළ යුතු යයි දිගින් දිගට හඩ නැගූ ආගමික සංවිධානයක් නම් කරන්න.
  15. විරුද්ධපක්ෂයේ කෙනෙකුට තමන්ගේ අයෙක් කළ විවේචනයක් වැරදි යයි කියා ඒ පුද්ගලයා වෙනුවෙන් අභිතව පෙනී සිට ඇති ඕනෑම ආණ්ඩුවකට අයත් දේශපාලනඥයෙක් නම් කරන්න.
  16. තමන් ආගමක් අදහන්නේ නැතැයි පසුගිය වසර දහය තුළ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දේශපාලනඥයෙක් නම් කරන්න.
  17. පවුලේ කෙනෙක් පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කරන ඇමතිවරයෙකු නම් කරන්න.
  18. මෑත කාලයේදී වැරැද්දක් නැති ප්‍රශ්නපත්‍රවලින් සමන්විත පාසල් හෝ ජාතික විභාගයක් නම් කරන්න.
  19. පහුගිය සමයේ එක ද හෝ යුද අපරාධයක් කළ සෙබලෙකු හෝ සේනාංකයක් ඇත්නම් නම් කරන්න.
  20. පහුගිය යුද සමයේ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියෙක්ගේ නමක් සදහන් කරන්න.
  21. පොලීසිය විසින් අල්ලාගෙන දඩුවම් කරනු ලැබු මිනිසුන් පැහැරගෙන යන සුදුවෑන් ක්‍රියාකාරිකයෙක් නම් කරන්න.
  22. විරුද්ධපක්ෂයේ මැතිවරණ කාර්යාලයකට පහර නොදී පවත්වපු එක් මැතිවරණයක් නම් කරන්න.
  23. රජයේ දේපළ අපේක්ෂකයින් විසින් නීතිවිරෝධී ලෙස මැතිවරණයකට යොදා නොගත් එක් මැතිවරණයක් නම් කරන්න.
  24. දූෂණය හා වංචාව නොමැතිව දියවඩන නිලමේ කෙනෙක් පත් කර ගත් අවස්ථාවක් (කුමන දේවාලයකද කුමන වසරකදී ද යන්න) සදහන් කරන්න.
  25. තමන්ගේ දේපලක් නැති වූ විට පොලීසියට පැමිණිලි නොකර දෙවියන්ට කන්නලව් කළ කපුවෙකුගේ නම සදහන් කරන්න.

අවසාන ප්‍රශ්නය

  • ලෝකෙන්ම උතුම්ම රට හා උතුම්ම ජාතිය නම් කරන්න.
Posted in: Uncategorized