කැත්තෙන් බැරිනම් පොල්ලෙන්

Posted on August 25, 2009



පොලීසිය ඕනෑවට වඩා විවේචනය කිරීමෙන් වාසිවන්නේ පාතාලයට බව කියන්නේ අප රටේ සිටින පතාක යෝධයන්ගෙන් කෙනෙකි. ඒ යුවරජ තැන්පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ය.

එයින් බ්ලාස්වී යන්නේ අගමැති පමණක් නොවේ. තමන්ගේම අයියා වන මහරජ්ජුරුවන් වහන්සේත් ය.

එහෙත් එසේ කිව යුතුව ඇති තැන එසේ කිව යුතු ය. ඒ එතුමන් හිතන විදිහ ය.

එතුමන් තමන් තරයේ අදහන දෑ වෙනුවෙන් එලිපිට නොබියව පෙනී සිටින කෙනෙකි (එසේ කෙලින් කියන දර්ශනය අපට වහ කදුරු වුවත් ඒ කෙලින් කම අපී අගය කරමු. රවටන්නට අපේක්ෂාවක් එයින් ප්‍රකට නොවන නිසා යැ.)

එකම රටක්! එකම පාතාලයක්! ගොඩ නගන සටනේ පළමු බළ ඇණිය ලෙස ක‍්‍රියාත්මක වන්නේ පොලීසියයි.

ඒ සදහා අනුග‍්‍රහය පළ කළේ ඉහළම තැනිනි.

ඒ සටන ක‍්‍රියාත්මක වූ ආකාරය තුළම රටේ නීතියට එහා යන උපායමාර්ගයක් එය සතු විය.

රටේ නීතියට එහා යන උපාය මාර්ගයකට ඉඩ දුන්නහම එයින් සිදුවන වින්නැහිය රටටම ඇස් පනා පිට ප‍්‍රදර්ශනය වූයේ ය.

එහෙත් ඒ ගැන තිතක් තබතොත් අහිමිව යන්නේ මෙතෙක් එක රටක් එක පාතාලයක් ඇති කිරීමේ සිහිනයයි.

ගෝඨාභයට මැදිහත්වන්නට සිදුවන්නේ ඒ නිසා ය.

කැත්තෙන් නැත්නම් පොල්ලෙන් යන ආත්තෝප දේශය අනුව වැඩට බැස්සහම සිදුවන්නේ මෙයයි.

නීතියක් ක‍්‍රමවේදයක් ආචාර පද්ධතියක් නැතිව ඒවායින් සමන්විත ආයතන නැතිව වැඩ කිරීමේ සම්ප‍්‍රදාය ක් ඇති කිරීම හරිද වැරදිද යන්න විවාදයට භාජනය විය යුතු කතාවකි. අප ඒ ගැන කතිකාවක් ඇරඹිමට විවිධ දේ කර ඇත්තෙමු. එහෙත් ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීමට අප තවමත් සමත් වී නැත.

ක්ෂණික විසදුම් පතන අයට ඒ සංවාද වලින් කාරි නැත. ඔවුනට අවශ්‍ය කැත්තෙන් බැරිනම් පොල්ලෙන් ගසා හෝ ප‍්‍රථිපල ලබා ගැනීම ය.

අප බොහෝ කොට විදවා ඇත්තේත් ඉදිරියට විදවන්නට නියමිතව ඇත්තේත් මෙම හදිස්සිය නිසා ය.

Posted in: Uncategorized