උතුමාණන්ට හරි වැඩය

Posted on August 23, 2009



පාසලක වාර විභාග ප්‍රශ්නපත්‍රයක ඇලපිල්ලක් නැතිවුවත් ඒ ගැන පරීක්ෂා කරන්නට සිදුව ඇත්තේ එතුමාට ය.

අලි පැටියෙක් අහිමිව අඩන ඇතින්නකගේ දුක් අදෝනාවන්වලට සංවේදී වන්නට සිදුව ඇත්තේත් එතුමාට ය.

පොතක් චිත්‍රපටියක් බලා එය ප්‍රදර්ශනයට සුදුසු ද යන්න තීරණය කිරීමට සිදුව ඇත්තේත් එතුමාට ය.

ඉස්සර තැපැල් පියුම් විසින් කරන ලද උපාධිධාරින්ට පත්වීම් ලිපි බාර දීමට අද සිදුව ඇත්තේත් එතුමාට ය.

එකවරක් විවෘත කළ සරසවියක් තව වරක් විවෘත කිරීමට බලධාරීන්ට වුවමනා වුනාම ලජ්ජා නැතිව ඒකට සහභාගිවන්නට සිදුව ඇත්තේත් එතුමාට ය.

දරුවන්ට ආදර්ශයක් වනසේ හැසිරෙමින් පාසල්වලට ජංගම දුරකථන ගෙන ඒමෙන් වළකින ලෙස ගුරුවරුන්ට අවවාද අනුශාසනා කිරීමට සිදුව ඇත්තේත් එතුමාට ය.

පොලීසියට නීතිය රකිනා ලෙස උපදෙස් දෙන්නට සිදුව ඇත්තේත් එතුමාට ය. කාගේ හෝ සිදු නොවිය යුතු මරණයක් වුනාහම වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලීසියට උපදෙස් දෙන්නට සිදුව ඇත්තේත් එතුමාට ය. සාමාන්‍ය මරණයකදී උපදෙස් නැතිව කටයුතු කර සැකකරුවන්ට එරෙහිව පියවර ගන්නා පොලීසිය එවන් අවස්ථාවක නිෂ්ක්‍රීය වන බැවින් ඒ ගැන බැනුම් ඇසීමට අවසානයේ සිදුවන්නේත් එතුමාට ය.

මැතිවරණයක් පවත්වන විට අහල ගම්හතක මිනිසුන් කැදවා සංග්‍රහ කරන්නට ඕනෑත් එතුමා ය.

පොලීසිය පිස්සු කෙළ මිනිසුන් මැරුවහම දෙමාපියන් රජගෙදරට කැදවා සංග්‍රහ කොට තෑගි බෝග දී ෂේප් කරගන්නට ඕනෑත් එතුමා ය.

එරෝප්පෙට ගොස් සිංහලෙන් කතා කොට රටේ නම රැක ගන්නට ඕනෑත් එතුමා ය.

ඇමතිවරුන්ට වැඩ කරන්නට සංකල්ප හදන්නට ඕනෑත් එතුමා ය. එතුමාගේ සංකල්පයක් නැතිව බෝක්කුවක් කක්කුස්සියක් වත් හදා ගැනීමට එතුමාගේ ගෝලයින්ට බැරි ය (බොරු නම් මුල් ගල් වල ලියා ඇති හෑලි දිහා බලන්න).

විරුද්ධ පක්ෂයේ අයගේ පවා උපන්දින මතක තියාගෙන සුභ පතන්නටත් ඕනෑ එතුමා ය.

මේ ඔක්කෝම කරන එතුමාණන්ට ව්‍යාවස්ථාදායක මණ්ඩලය ද පත්කරන්නට කියමින් ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නට කියමින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය කියමින් නීතිය ස්ථාප්තිත කරන්නටය කියමින් කැබිනට් මණ්ඩලය අඩු කරන්නටය කියමින් කෑ ගැසීම සාධාරණ ද? (මෙතරම් ලොකු කැබිනට් මණ්ඩලයක් ඉදිද්දීත් හැම දෙයටම ඇගිලි ගහන්නට එතුමාට සිදුව ඇත්නම් බැරිවෙලාවත් කැබිනට් මණ්ඩලය කුඩා වුවා නම් එතුමාට කුමක් සිදුවනු ඇත් ද?)

උතුමාණන්ට තියෙන වැඩවල හැටියට හරියට රට ගොඩ ගන්න නම් තව තුන් හතර වතාවක්වත් එතුමාටම බලය දිය යුතු ය.

එහෙම දුන්නෝතින් හෙට අනිද්දා අපේ උපන්දිනයේත් සුභපතා දුරකථන පණිවුඩයක් එතුමා දෙනවා නොඅනුමාන ය. මෙහෙම නිරිදෙක් ලැබූ අප වාසනාවන්ත ය.

Posted in: Uncategorized