රජවාසලේදී පිරිනැමුණු දහසින් බැදි පියල්ල

Posted on August 23, 2009



මගේ නෙතට ද කාලෙකින් නොආ කදුලක් ඉනුවේ ය. ඒ මහරජතුමා තමන්ගේ දුකට පත් රට වැසි පවුල් දෙකක් තම වාසලට කැදවා උන්ට දහසින් බැදි පියල්ලෙන් සංග්‍රහ කරනු දැකීමෙන් ය.

පෙර කල දවස අපේ රාජ උත්තමයින් වහන්සේලා ද කරන්නට ඇත්තේ මෙපරිද්දෙන් විය යුතු ය. දස රාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය විචාල බව ඉතිහාස පොත්වල සදහන්ව ඇත්තේ ඒ නිසා නොවැ.

සමහරු අපේ රජතුමාට දොස් කියන්නට ඉදිරිපත් වුනේ ද ඉවරයක් නැතිව සිදුවන නීති කඩවීම් ගැන ය. එයට අගුලානේ කරන ලද පොලිස් ඝාතන ද අයත් ය. එතුමා රජවාසලට ගෙන්වා දහසින් බැදි පියල්ලෙන් පිදුවේ ඒ දෙමාපිය දෙදෙනාට ය. එහෙව් කරුණා පෙරදැරිව වැඩ කරන උතුමෙකු හට තමන්ගේ රටවැසියන් වෙනුවෙන් උනුවන හදවතක් ඇතැයි කියන්න‍ටවත් මේ විවේචනය කරන කටවල් නැමුනේ නැත.

මිනිසුන්ගේ නරක විතරක් කියන්නට අප පුරුදුව ඇත්තේ ඇයි?

ඇත්තටම අපේ රජතුමාට තියෙන වැඩ රාජකාරිවල හැටියට මේ දහසින් බැදි පියල්ල රාජසේවකයෙකු අතේ යවන්නට වුව තීරණය කළේ නම් කවුරුවත් දොස් කියන්නේ නැත.

එහෙත් එතුමාට සිය පින්බර දෑතින් තම වාස‍ලේදීම මේ කටයුත්ත කරන්නට ඕනෑ විය. ඒ මහා පුණ්‍ය කර්මයට සද් ක්‍රියාවට සහභාගී වී මුලුරටටම එය පෙන්වූ ඒ පින්බර මොහොත මගේ මතකයෙන් කාලයක් යනතෙක් ඉවත්ව යන එකක් නැත (හොද වෙලාවට ඒ මොහොතේ කැමරා ශිල්පින් ද රජවාසලේ සිට ඇත. නැත්නම් ඒ අසිරිය දැක බලාගැනීමේ පින්බර අවස්ථාව මට පමණක් නොව සකල ශ්‍රී ලාංකික ජනතාවටම අහිමිවන්නේ ය).

එයින් පවා පෙනී යන්නේ එතුමා සිය රට වැසියන් කෙරෙහි ඇති මහා ඇල්ම ය.

මෙසේ කරුණාවෙන් රටවැසියන් දෙස නෙත් යොමන රජ කෙනෙකු සිටින කල අතරින් පතර සිදුවන නීතියේ එහා මෙහාවක් මහා ලොකුවට ගැනීමේ තේරුමක් නැත.

අසමත් රාජ්‍යයක් යයි එන්ජීඕ කාරයින් සමග එක්ව බෙරිහන් දෙන්නේ මෙහෙම කරුණාවෙන් රටවැසියාගේ දුක්ගැනවිලි සොයා බලන රාජ්‍යයකට ය. කුණුහරුප මතක් වන්නේ එහෙම වෙලාවට ය.

ඉහත ලියුම අප වෙත එවා තිබුනේ ස්වාධීන රූපවාහිනියෙන් ඔබ අප නිතර හමුවන මහින්ද අබේසුන්දරගේ “නිවුන් සොහොවුරා” ය.

Posted in: Uncategorized