පොලීසිය ද මර්වින් මෙන් ඉල්ලා ගෙන කයි

Posted on August 22, 2009



ගැබිණි මවකට බිම පෙරලාගෙන පහර දීම නිසා උරණ වූ අවට ජනතාව පොලීසිටය සංග්‍රහ කර තිබුනේ ඊයේ පෙරේදා ය. අගුලානට ගල් ගැසූ, වාස්ගේ දරුපවුල හිර කළ විට සාදු කාර දුන්, ජනතාව දැන් තවත් පියවරක් ඉදිරියට ගොස් අතින් පයින් ද පොලීසියට සංග්‍රහ කරන්නට ඉදිරිපත් වී ඇත්තේ ය.

පාතාලය මෙල්ල කරන්නට පොලීසිය‍ ගෙන ගිය පියවර ගැන පොලීසියට හා එය මෙහෙයවනවා යයි ජනතාව සැක කළ ලොකු තැනට ද ප්‍රශංසා කරමින් සිටි ජනතාව හිටි අඩියේ උරණ වී ඇතිවා ද?

නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද නීතිය කඩන්නේ කවුද යන්න හදුනා ගත නොහැකි තරමට රට අවුල්වෙමින් තිබේ.

ආයතන හදනවා වෙනුවට රජවරුන් හදන්නට ගියහම වන සංගෙඩියට අපි අද මුහුණ දෙමින් සිටිමු. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ෂෝර්ට් කට් සොයන්නට යාමේ වන්දිය අපි ගෙවමින් සිටිමු.

රටට අවශ්‍ය දේවත්වයෙන් වන්දනා මාන කරන රජවරුන් නොව සෙන්පතියන් නොව ශක්තිමත් ආයතන හදන -ඒවාට අදාළව නීති පද්ධති ක්‍රමවේද ආචාර ධර්ම ගොඩ නගන- අයවලුන් බව තේරුම් ගැනීමට අපේ රටට තව කොපමණ කල් ගත‍ වේද?

දුමින්ද සිල්වා බටහිරට පත් කළ අපට එතුමා සමග විරසක වූ අනර්කලී දකුණට පත් කර රටම විහිළුවක් කිරීමට සිදුව ඇත්තේ ආයතන හදන්නේ නැතිව නායකකාරකාදීන් හා උන්ට පක්කලිකම් කරන ගෝලබාලයන් බිහිකරන මේ ඊනියා නාඩගමට පින්සිදු වන්නට ය.

මොනවා කරන්න ද තොල් විකාගෙන තව වරක් කතිරයක් ගසමු.  අපි පිදුරු නොකන තාක් ගැටළුවක් නැත. එකම කහටකට ඇත්තේ අප පුබ්බරුවන්ගෙන් වෙන් කරන එකම කාර්යය ද එයම වීම ය. තවත් කලක් මෙහෙම ගියොත් කන්නට වෙන්නේ නම් පිදුරු ය. එතකොට නම් අපගේත් උන්ගේත් වෙනස නැත්තටම නැතිවනු ඇත.

Posted in: Uncategorized