මර්වින්ට එරෙහිව වාස් ගුණවර්ධන- නඩුව ජනතා අධිකරණයේ

Posted on August 21, 2009



ඊයේ අපි සිංහලයාට එරෙහිව දෙමළාගේ පැමිණිල්ල ජනතා අධිකරණයට ඉදිරිපත් කළෙමු. අද අපි එහිම දෙවැනි කොටස එනම් මර්වින්ට එරෙහිව වාස්ගේ පැමිණිල්ල ජනතා අධිකරණය හමුවේ තබමු.

මර්වින් නැමැති ඇමතිවරයා රජයේ ආයතනයකට ගොඩ වැදී එහි අධ්‍යක්ෂක වරයෙකු බෙල්ලෙන් අල්ලාගෙන බිම දිගේ ඇද ගෙන යමින් පහර දීමේ සිද්ධියක් පිළිබඳව වාර්ථා වූයේ ටික කලකට ඉහතදී ය.

ඒ ගැන උරණ වූ එම ආයතනයේ සේවකයෝ ඇමැත්තෙක් දැයි වත් නොසළකා එතුමාට හොඳින් සංග‍්‍රහ කළෝ ය.

බොහෝ දෙනෙකු හිතුවේ මේ මැරකමට ඉහළින් තිතක් වැටෙතැයි කියා ය. ඒ ගැන විනයානුකූල පරීක්ෂණයක් පවත්වා අදාළ ඇමැත්තාට දඩුවම් පමුණුවනු ඇත කියා ය. එහෙත් එහෙම කරදරයක් එතුමාට වුනේ නැත. ඒ එතුමා රජයේ ඇමතිවරයෙක් නිසා ය. අවසානයේ එතුමාට දඩුවම් කිරීම දෙවියන්ට පවරා ආණ්ඩුව නිහඩ විය.

පස්සේ දවසක මේ කටයුත්තම කරන්නට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුටත් සිත්විය. දේශපාලනයෙකුටත් නැති තැනක් රණවිරුවන්ට ලැබී තිබුනු තත්වයක් යටතේ මෙය ද මර්වින්ගේ තග මෙන්ම වසන්ව යනු ඇතැයි එතුමා හිතන්නට ඇත.

පළමු කාරණයේදී මෙන්ම මෙහිදීද බිම දිගේ ඇදගෙන යනු ලැබිණ. වෙනසකට තිබුනේ දෙවැන්නා රජයේ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු නොවී අධ්‍යාපන ආයතනයක ඉගෙන ගනිමින් සිටි ශිෂ්‍යයෙක් වීම ය.

අධ්‍යාපන ආයතනයේ සිසුන්ට රජයේ ආයතනයේ අයට මෙන්ම මේ ගැන සැළකිය යුතු යමක් කරන්නට බැරිවූයේ කුදලාගෙන ගොස් ජීප් රථයක දමා ගෙන පිටත්ව ගිය නිසා විය හැකි ය. නැතිනම් කණ්ඩායම අතේ ආයුධ තිබුණ නිසා වෙන්නට ඇත.

ඇමැත්තා බේරුණේ ය. රණවිරුවා කෙසේ වෙතත් ඔහුගේ දරු පවුල අසුවුනේ ය.

පළමු සිද්ධියේ ක‍්‍රියාත්මක නොවූ නීතිය මෙහිදී ක‍්‍රියාත්මක වූයේ ය.

පළමු සිද්ධියේදී කෙළ බිඳක් නොහෙලූ ලොකු තැන් දෙවැන්නේදී රටේ විනය ගැන දේශන පැවැත්වූහ. පස්සේ හෝ ඥානය පහලවීම හොද දෙයකි. එහෙත් එයම අප තුළ පැනයක් ඇති කරයි.

මේ සිද්ධි දෙක සන්සන්දනයෙන් අපට ලබා ගත හැකි පණිවුඩය කුමක්ද? හරි උත්තරයක් නැති නිසා අපට ඇති කර ගත හැක්කේ අනුමානයන් පමණකි.

  • චන්ද‍්‍රසේකර නිහඩව සිටියාට නිපුන රාමනායක හෝ ඔහුගේ පවුලේ උදවිය මේ ගැන නිහඩව සිටීමට සූදානම් වූයේ නැති බව ය ප්‍රශ්නය දුර දිග යාමට එය ප්‍රබල හේතුවක් වූ බව ය
  • රටේ නායකයින් හොඳ අතට හැරෙමින් සිටිනා බව ය
  • රටේ ජනතාව අවදිවෙමින් ඇති බව ය
  • පොලීසිය වෙනස් වී ඇති බව ය
  • දේශපාලනකයින්ට තිබෙන වාසි රණවිරුවන් විසින් අපේක්ෂා කිරීම වැරදි බව ය
  • තවම කිසිවක් කීමට කල් මදි බව ය

මර්වින්ට එරෙහිව වාස්ගේ නඩුව කෙ‍සේ තීන්දු වනු ඇත් ද යනු කියන්නට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි. ඒ මර්වින්ට දඩුවම් දීමේ කාර්යය උඩ ඉන්නා දෙවියන්ට දැනටමත් පවරා ආණ්ඩුව අත සෝදා ගෙන ඇති නිසා ය.

එහෙත් මුලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවකට හොද නිමිත්තක් නම් තිබේ.

Advertisements
Posted in: Uncategorized