මාලඹේ හා අගුලාන හරහා දිග හැරෙන කවුරුත් නොකියන කතාව

Posted on August 20, 2009



අගුලානේ මානවකයින් දෙන්නෙක් මරා දැමීමට ඉදිරිපත් වූ රණවිරුවන් කීප දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ. මාලඹේ ද මානවකයෙකුට ගුටි ඇන්නාවූ රණවිරුවන් කීප දෙනෙකුටම එම ඉරණමම අත්ව ඇත.

රණවිරුවන් විසින් කුදලාගෙන ගොස් මරා‍ දැමු පළමු මානවකයින් මේ දෙන්නා නොවන්නේ ය. ඔවුන් අතින් ගුටි කෑ පළමු මානවකයා ද මාලඹේ දී අමානුෂික පහර කෑමට ලක්වූ තරුණයා නොවන්නේ ය.

උතුරේ ගම් නියම් ගම් වල මෙවැනි දෑ බොහෝ සිදු විය. එහෙත් අගුලානේ මෙන් එලියට පැමිණ උද්ඝෝෂනය කළ හැකි වතාවරණයක් උතුරේ ගම් වැසියන්ට තිබුනේ නැත. එහෙම කළේ නම් රණවිරුවන් තොග පිටින් ගොස් ඒ ගම් නියම් ගම් සමතලා කරන්නට පවා ඉදිරිපත් වන්නට ඉඩ තිබිණි.

අගුලානේ ගම් වැසියන්ගේ මේ හදිසි ප්‍රතික්‍රියාව නිසා රණවිරුවන් තරමක අන්දුන් කුන්දුන් භාවයකට පත්ව තිබේ. ඒක ටිකක් දුරට රජයේ ආයතනයක් වූ රූපවාහිනී සංස්ථාවට ගොස් තග දමන්නට කටයුතු කළ මර්වින් නම් රජයේ ඇමතිවරයා අන්දුන්කුන්දුන් වූවාට සමාන ය.

උතුරේ ගමකින් රණවිරුවන්ට මෙහෙම විරෝධයක් ආවා නම් සමහර විට උතුරේ අයියලාගේ දකුණේ නෑදැයින්ට සළකන්නට දකුණේ ගම්බිම් පවා ඉදිරිපත්වන්නට ඉඩ තිබිණි. එහෙත් අද දකුණේ ගම්බිම් එක හඩින් කියන්නේ මේ රණවිරු වැඩ ඉවසන්නට තමන් සූදානම් නැති බව ය.

රණවිරුවන් තේරුම් ගනිමින් සිටින කාරණය වන්නේ උතුරේ ගම්වල කළ වීරකම් දකුණේ කිරීම එතරම් පහසු නොවන බව ය.

ඒ නිසාම රණවිරුවන් තනීවී ඇති බවක් පෙනේ. උන්ට දැන් පියවරු නැති ය. වෙනදා මී පැණි මෙන් ලද වර්ණනා නොව දැන් එන්නේ ගල්මුල් හා අවලාද ය.

උතුරේ හා දකුණේ වෙනස අදුනා ගත නොහැකි වීම නිසා උන් අතරමං වී ඇත. රණවිරුවන් බාර කවුරුන් හෝ මේ වෙනස උන්ට කියා දිය යුතු ය. ඒ සදහා මහතැන්ම දැන් ඉදිරිපත්ව තිබේ. වැරැද්දකට ඇත්තේ ඒ උපදෙස් තරමක් ප්‍රමාදව ලැබීම ය.

අගුලානේ පමනක් නොව මාලඹේ ඇති වූ සිද්ධියද ඊට පසු ඒ ආශ‍්‍රයෙන් ඇතිවූ සිද්ධි දාමය ද මේ පිළිබද කදිම උදාහරණ ය.

ගැහුවාට කමක් නැත! මැරුවා වුව ද කමක් නැත! එහෙත් ගුටි කන්නේ කවුද මරන්නේ කාවද කියන එක දැන ගෙන කළ යුතු ය.

දෙමල ජනයාට දෙමල වීම නිසා ප්‍රශ්නයක් නැතැයි කීවේ කවුද? දෙමල මරණයකට නැති වටිනාකමක් සිංහල මරණයකට ලැබෙන්නේ වෙන මොන මළඉලව්වක් නිසා ද? දෙමළ මරණයකදී නිදහස් වන චුදිතයන් සිංහල මරණයකදී අඩුවශයෙන් රක්ෂිත බන්ධනාගාර වත් ගත වන්නේ වෙන මොන මළඉලව්වක් නිසා ද?

අප අපගෙන්ම අසා උත්තර සොයා ගත යුත්තේ ඒ ප්‍රශ්නයට ය.

Posted in: Uncategorized