ජාතික චින්තනයෙන් ගොඩනැගිය හැකි රටක් නැත! ගොඩ නැගිය හැක්කේ දොළොස්වන සියවසේ ගමක් පමණකි!

Posted on August 19, 2009



ජාතික චින්තනය හරහා රට ගොඩ නැගීම ගැන මතයක් දැන් ප‍්‍රචලිත වෙමින් යයි.

ජාතික චින්තනය කියන්නේ රට ගැන හැගීමකින් වැඩ කිරීම නම් එය වෙනම දෙයකි. එහෙත් බොහෝ දෙනා එයින් අදහස් කරන්නේ රටට අවශ්‍ය දේ රට තුළ නිපදවිය යුතු ය යන යල්පැන ගිය, අත් හදා බලා අසාර්ථක වූ, චින්තනයයි. මහින්ද චින්තනය ලෙස නැවත උත්පත්තිය ලැබූ පැරණි මතවාදයයි.

අප දන්නා පරිද චීනය දියුණු වූයේ ඒ අනුව නොවේ . සිංගප්පූරුව හෝ කොරියාව දියුණු වුයේ ද ඒ අනුව නොවේ . ඊටත් පෙර දියුණු වූ ජපානය දියුණු වුයේද ඒ අනුව නොවේ.

ජාතික චින්තනය උදව් කරගෙන දියුණුවන්නට යයි කියමින් පස්සට යන රටක් ගැන නම් අපි දනිමු. ඒ මියන්මාරයයි.

අවුන් සන් සූ කි නැමැති දුර්වල ගැහැණියක් නිවාස අඩස්සියේ තබා තමන්ගේ දුර්දාන්ත පාලනයක් ගෙනියන හමුදා ආණ්ඩුවක නායකත්වය ඇති මියන්මාරය ඇරුණු කොට ජාතික චින්තනයෙන් දියුණුවීමට උත්සහ කළ රටක් ගැන අපි නොදනිමු. දියුණුව සඳහා කළ වෑයමේ එකම ප‍්‍රතිඵලය වූයේ දුර්වල ගැහැණියකටත් බිය වී සිටින ලජ්ජා නැති හමුදාපාලනයක් රට තුළ පැවතීම පමණ ය.

අප කී හැම රටක්ම දියුණු වූයේ රටට අවශ්‍ය දේ තම රටේ නිපදවා ගැනීමෙන් නොවේ. ලෝක වෙළද පොලේ හෝ තම වෙළද පොලේ වඩාත් සාර්ථකව තරගකාරීව විකිණිය හැකි දේ නිපදවීමෙනි.

හැම ගමක්ම තමන්ට අවශ්‍ය දේ තමන්ගේ වැයික්කිය තුළ නිපදවා ගත් කාලයක් තිබිණි. අප යන්නට හදන්නේ ඒ යුගයට නම් අපේ රටට දෙයියන්ගේ පිහිටෙන් වත් වැඩක් වන්නේ නැත.

පුංචි වෙළඳ පොලක් ඉලක්ක කරගෙන කාර්යක්ෂමව නිපදවිය හැකි දේ ඇත්නම් ඒ අල්ප ය.

මේ බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව පිළිබද උපාධි ලබා ගැනීම අවශ්‍ය නැත. අවශ්‍ය ඇස් ඇර ලෝකයේ සිදුවෙමින් තිබෙන දේ දෙස බැලීම පමණකි. එහෙත් එහෙම වුවමනාවක් මේ කතා කරන අයට නැත. ඒ තරමට තමන්ගේ මතවාදයන්ගේ ආශක්තියෙන් මත්ව සිටින බැවිනි.

Advertisements
Posted in: Uncategorized