කසාපබ්බතට උතුමාණන්ගේ කොන්ද පරීක්ෂා කිරීමට තව අවස්ථාවක්!

Posted on August 18, 2009



කසාපබ්බතට කොන්ද පරීක්ෂා කිරීමට තව අවස්ථාවක් ලැබී තිබේ.

ඒ ධීවර ඇමති තුමා නිසා ය. එතුමා ධීවර සංස්ථාවට පොල්ලක් තබා ඇත. ඒ රුපියල් මිලියන 2.4 එකකි. ඒ එතුමාගේ කොම්පැනිය විසින් ධීවර සංස්ථාවෙන් ගත් මාළුවලට මුදල් ගෙවීම මග හැරීමෙනි.

සන්ඩේ ටයිම්ස් පත්තරයෙන් මේ ගැන වාර්ථා කළ විට එතුමා ඊට උත්තර බඳිමින් කියා තිබුනේ ඉදිරි සතිය ඇතුළත එම මුදල ගෙවීමට තමන් කටයුතු කරන බවටත් කොම්පැණිය තමන්ගේ බිරිඳට බාර දුන් බවත් ය.

ධීවර ඇමති ධීවර කටයුතු කිරීම සඳහා තමන්ගේ කොම්පැනියක් පටන් ගන්නට ඇත්තේ ධීවර කටයුතු කිරීමට තමන් යටතේ ඇති රාජ්‍ය ආයතන අසමත්වීම නිසා විය හැකි ය.

කැත්තෙන් බැරි නම් පොල්ලෙන් ගසා හෝ ධීවර කර්මාන්තය කෙළින් කිරීමට ඔහු හිතුවා වන්නට පුළුවන.

අහක ඉන්න මිනිසුන් කුඩුකේඩු කතා කියන නිසා ම ඒ වැඩේ නෝනාට පවරා අයින් වන්නට ඔහු තීරණය කරන්නට ඇත.

ඇත්තටම තවත් හොයා ගෙන යන විට පෙනී ගොස් ඇත්තේ එතුමාගේ කොම්පැනිය මාළු මිලදී ගෙන තිබුනේ එතුමාගේ නෑදැයින්ට කන්න දෙන්නට නොවන බවත් රණවිරුවන්ට සංග‍්‍රහ කරන්නට බවත් ය. මේ කෙළෙහි ගුණ නොදත් හැත්තට ඒකවත් හොයන්න ඕනෑකමක් තිබී නැත.

හෙළුවෙන් කිවහොත් හමුදාවට මාළු සපයන කොන්ත‍්‍රාත්තුව ලබාගෙන ඇත්තේ එතුමාගේ කොම්පැනියෙනි.

ධීවර සංස්ථාවට කෙළින් ම හමුදාවට සපයන්නට පුළුවන් කම තිබියදී ඇමති තුමාගේ පෞද්ගලික කොම්පැනියක් මේ සඳහා මැදිහත් වූයේ ඇයි දැයි ඔල්මාද කාරයෙක් හෝ කඩමාලු බ්ලොග් කාරයෙක් අහන්නට පුළුවන.

ධීවර සංස්ථාවට එහෙමත් වැඩක් කර ගන්නට බැරිවුනාට එතුමා පලි ද?

ඇත්තටම ඌව මැතිවරණය ජයග‍්‍රහණය කර තිබෙන මෙවන් වකවානුවක එහෙම අමන ප‍්‍රශ්න ඇසීමම කණගාටුවට කරුණකි.

දැන් කොන්ද පරීක්ෂා කරන්නේ කෙසේ ද?

මෙවන් රටට ජාතියට සේවයක් කරන්නට කැප වූ ඇමැත්තෙකුහට වඩා උසස් ඇමති පදවියක් පිරිනමන්නේ නම් අපේ නායකතුමාට කොන්දක් ඇත. එසේ නොකරන්නේ නම් කොන්දක් නැත යනුවෙනි.

කොහොමෙයි මගෙ ටිකිරිමොළේ?

කසාපබ්බතගේ කොදු පරීක්ෂාවට ඉදිරියේදීත් උපකාර කිරීමට අප කැමැත්තෙන් සිටින බව ඔහුගේ කිට්ටු සගයෙක් හැටියට අවසාන වශයෙන් පෙන්වා දීමට කැමති ය.

Posted in: Uncategorized