උඹට ලියා දෙන හිස් චෙක්පත.. හැබැයි රජෝ එකක් විතරක් බලාගනින්…

Posted on August 16, 2009



මර්වින් නරක ය. එහෙත් ආණ්ඩුව හොද ය.

එක් මිනිසෙකුගේ කුපාඩි වැඩ නිසා මුලු ආණ්ඩුවක් දංගෙට යැවීම සුදුසු නැත. ඇත්තටම ආණ්ඩුව මර්වින්ගේ කුපාඩි වැඩ නියෝජනය නොකරයි. ඒවා තුළ ප්‍රදර්ශනය වන්නේ මර්වින්ගේ පෞද්ගලික දුර්වල කමකි.

මර්වින්ගේ දුර්වලකම් තිබුනද ඔහු ඉතාලියේ කොටින්ට එරෙහිව සටන් වැදුනු ලංකාවේ ‍මහරාජාගේ සිරස කොටි හඩට විරුද්ධව සටන් වැදුනු කෙනෙකි. ඒවා ද අප අමතක නොකළ යුතු ය.

වාස් ගුණවර්ධන නරක ය. නිපුන රාමනායකට පෞද්ගලික කෝන්තරයක් මත පහර දීම අනුමත කළ ‍නොහැකි ය. එහෙත් වාස්ට දඩුවම් නොදී ඔහු රකින ආණ්ඩුව හොද ය. ඇත්තටම වාස් යනු බෝම්බ ඇල්ලූ මිනිසෙකි.

මර්වින් මෙන්ම හැකි නම් විදේශ සංචාරයකදී වුව තම කණ්ඩායමට වාස්ව පවා එකතු කර ගැනීමට මහතැනකින්ම තීරණය වන්නට ඉඩ තිබේ.

රෝහිත බෝගොල්ලාගම නරක ය. එහෙත් ඔහු තවදුරටත් තබා ගෙන සිටිනා ආණ්ඩුව හොද ය.

ලක්ෂ 45 ක් වියදම් කොට පැවැත්වූ දුවගේ උපන් දින උත්සවයේ වැය රජයේ ප්‍රතිපාදන වලින් හිලව් කරන්නට කටයුතු කිරීම සවුත්තු ය. එහෙත් රටේ කීර්ති නාමය ගොඩනැගීම සදහා විදේශ ඇමති හැටියට ඔහු කළ සේවය අපට අමතක කළ නොහැකි ය.

මේ ලයිස්තුව දිග ය. එහෙත් ගොඩනගන තර්කයන් එකම ය.

මෙයින් ඉදිරිපත් වන පණිවුඩය ඉතා සරල ය. උඹට ඕනෑම කුපාඩි කමක් කළ හැකිය. එක් දෙයක් පමණක් අමතක නොකරන්නේ නම්!

මේ රටේ වත්මන් පාලනයට එහි දේශපාලන දර්ශනයට එහි පදනමට අභියෝග නොකරන්නේ නම් හෙටත් ජෝගි නටන්නට උඹට පුලුවන!

ලොක්කාම කියූ විදිහට ඉතිරිව ඇත්තේ ජාති දෙකකි. එකක් දේශප්‍රේමීන් ය. අනෙක දේශද්‍රෝහීන් ය.

උඹ මගේ ගෑණිටයි ළමයින්ටයි (හොදට මතක තියා ගනින්! වෙන උන්ගේ නොව මගේ!) අත නොතියන තාක් උඹව රකින හා උඹ විසින් රකින ආණ්ඩුව මට ද හොද ය.

Posted in: Uncategorized