කලුවරව ගිය නවෝදය හා සීතලව ගිය වසන්තය

Posted on August 10, 2009



ප්‍රභාගේ “ගල ග්‍රහණයෙන්” වන්නි ජනතාව “මුදා” ගෙන අවසන එම ජනයාගේ වත්මන් හද ගැහෙනා රාවය දැන ගන්නට ඉඩ හසර ලබා දුන් ප්‍රථම මැතිවරණය ඌව පළාත්සභා මැතිවරණ‍ය අස්සේම පවත්වන්නට යෙදුනේ ය.

කවුරු කාගෙන් මුදා ගත්තේ ද යන්න දෙපැත්තේ මැතිවරණ ප්‍රතිඵල සංසන්දන කිරීමෙන් පැහැදිලිව පෙනේ. ඌව පළාත අතිවිශාල වැඩි ඡන්ද ගණනකින් ආණ්ඩුව ජය ගන්නාවිට නැගෙනහිරට නවෝදයත් උතුරට වසන්තයත් ගෙනෙන්නට අමුඩ ගහගෙන වැඩ කළ ආණ්ඩුවට ලැබී තිබුනේ සියුම් කණේ පහරකි.

යාපනයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාවෙන් චන්දය පාවිච්චි කර තිබුනේ 20% කට ත් අඩු ප්‍රතිශතයකි. ඒ පැත්ත පළාතට චන්ද නිරීක්ෂකයින්ට හා මාධ්‍යවලට යාමට තහංචි දමා තිබිණි. ඒ කුමකට දැයි අප යමක් කමක් දන්නා ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැත. එවන් වටපිටාවකත් ආණ්ඩුව ජය ගන්නේ යන්තමිනි. වවුනියාවට යන විට ඒ ටිකත් නැත. එල්ටීටීයේ සගයින් යයි චෝදනා ලබන දෙමළ ජාතික සන්ධානය විසින් එය ජය ගෙන තිබිණි. ආණ්ඩුවට චන්ද ප්‍රතිශතයක් ලෙස 24%කි. ඒ ද යාප‍නයේත් වවුනියාවේත් ඊපීඩීපි සංවිධානය ආණ්ඩුව සමග තරග කළ වටපිටාවක ය.

තටු කඩා දමා වියපත්ව රෝසයින් පෙළෙන සන්ධානයක් ජයග්‍රාහී හා ශක්තිමත් ආණ්ඩුවක් පරදවමින් දිනන්නේ කෙසේ ද?

ගැලවුම් කාරයාට සැළකූ සැළකිල්ල නම් හරි නැත. යුද්ධයේ ජයග්‍රහණය නිසා ජයග්‍රාහකයාට ලැබිය යුතු පංගුවවත් උතුරෙන් ලැබී නැත.

වසන්තය සීතල යැයි ඔවුන්ට හැගී ගියා වත් ද? නවෝදය කලුවර යැයි ඔවුන්ට පෙනී ගියාවත් ද?

අප රට ධ්‍රැවීකරණය වී ඇතැයි කීමට තවත් කැට ඕනෑ ද?

ඌව ජයග්‍රහණයෙන් මත්ව ඉන්නා අයට මේවා අනවශ්‍ය උලුප්පා දැක්වීම් ය. කුණු හබ්බයක් කට මුලට එන ප්‍රස්තූතයන් ය.

ඒත් රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති අයට මේ නැවත සිතන්නට පොළඹවන කරුණු කාරණා ය.

Posted in: Uncategorized