ආණ්ඩුවේ බොහෝ අයට පවා හිසරදයක් වී ඇති මර්වින් කියවීම

Posted on August 10, 2009



මර්වින් බොහෝ‍ දෙනෙකුට ප්‍රහෙලිකාවක් ද සමහර අයට හිසරදයක් ද තවත් අයට තර්ජනයක් ද වී තිබේ. ඒ විරුද්ධ පාක්ෂිකයින්ට පමණක් නොව තමන්ගේ පිලේ ඈයින්ටත් එක්ක ය.

මේ සටහන මර්වින් වෙනුවෙන් වෙන් කරන්නට අපි අදහස් කළේ ඒ නිසා ය. බොහෝ දෙනෙකුට නොතේරෙන මර්වින් ඒ නිසාම කියවිය යුතු කෙනෙකි.

බොහෝ සිංහල බෞද්ධයින් හොරෙන් බොහෝ නොපනත් කරමින් තමන් සුදනන් මෙන් පෙනී සිටිය දී තමන් මත්පැන් බොන දුරාචාරයේ යෙදෙන කෙනෙකු ලෙස මර්වින් එලිපිට පෙනී සිටී. එසේ පෙනී සිටින ගමන් තමන් සිංහල බෞද්ධයෙකු බව ද කියයි.

මේ රටේ උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් මර්වින්ට අකමැති ඒ නිසා ය. මර්වින් උන්ට හිසරදයක් කරදරයක් වී ඇත්තේ ඒ නිසා ය.

එහෙත් සුදනන් වීමට හදන ඒ බොහෝ දෙනෙකුට නැති එක ගුණයක් ඔහුට තිබේ. ඒ (අනෙත් අයට සාපේක්ෂව) ඔහු කරන දෙය කීමත් කියන දෙය කිරීමත් නිසා ය.

සිංහල බෞද්ධයින් වෙනුවෙන් ඔහු ඉතාලියේ කොටි හා ගැටෙයි. කොටින්ට කඩේ යනවා යයි ඔහු විශ්වාස කරන සිරස මාධ්‍ය ජාලය සමග ද හැපෙයි. තමන්ගේ පිලේ රූපවාහිනි මධ්‍යස්ථානයකට ද යන ඔහු එහි උන්ට ද තග දායි.

අපට අපුල යයි පෙනෙතත් මහරජාණන්ට මහරජා යයි කියයි. රජුට ප්‍රශස්ති ගසයි. කොළඹ ලයිට් කණුවක් ගානේ කටවුට් ගසයි.

තමන්ට විරුද්ධව යන්නන්ට දඩුවම් දෙයි.

ආණ්ඩුවේ බොහෝ දෙනෙකු ද මේවාට සමාන දේ කරති. නැත්නම් අනුන් ලවා කරවති. මේවාට අඩුවශයෙන් මුණිවත රැකීමෙන් හෝ උඩ ගෙඩි දෙති. එහෙත් මර්වින් මෙන් ඒවා වෙනුවෙන් එලිපිට පෙනී නොසිට සුදු ඇදගත් උපාසකයින් මෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටිති.

ඒ නිසා මර්වින් යනු ආණ්ඩුව ගෙනියන බලවේග අදුනා ගැනීමට ඉවහල්වන කවුළුවකි.

මර්වින් සමග ආණ්ඩුව ගෙනියන බලවේග වල ඇති ප්‍රශ්නය වසා තිබිය යුතු මේ කවුළුව විවෘත කිරීම පිළිබදව ය.

අපි මර්වින් විවේචනය කරතත් මර්වින්ගේ කදවුරේ ඉන්නා අයට වඩා ඔහු වැදගත් මිනිහෙක් ලෙස හදුනා ගනිමු. ඒ වැදගත් කම ලැබෙන්නේ කරන දේ කියන කියන දේ කරන ගුණය නිසාම නොවේ.

ආණ්ඩු කරවන බලවේග එලිදරව් කරන කවුළුව ද වී ඇති නිසා ය.

මර්වින් විවෘත කර පෙන්වන්නේ තමන්ගේ හෙළුව පමණක් නොව ආණ්ඩු කරවන බලවේගයේම හෙළුව නිසා ය.

ආණ්ඩුව අගය කරන “මහත්හොරුන්ට” මර්වින් පේන්න බැරි ය. හැංගී කරන්න ‍පුළුවන් දේ එළිපිට කර මඩ ගාගන්නවා මදිවාට ඒවා “මහත්හොරුන්ගේ” සුදු සිල් රෙදිවල ද ගානා නිසා ය.

අප සමග ගිය බ්ලොග් සටහනේ Sittingnut වාදයට ආවේ ද මේ ආණ්ඩු කරවන බලවේග හා මර්වින් අතර පවතින මේ අලකලංචිය මතු කළ නිසා ය.

අපට එකක් සහතික කොට කිව හැකිය. “මහත්හොරුන්” ප්‍රශ්නයක් කරගත්තාට රජතුමා මර්වින් ප්‍රශ්නයක් කර ගන්නේ නැත

මර්වින් තමන් යන ගමනේ සැබෑ පිළිඹිබුව බව එයා දන්නා නිසා ය.

“මහත්හොරුන්ට” ප්‍රශ්නයක් වුනාට රජතුමා මෙන්ම ජනතාව ද මර්වින්ව ප්‍රශ්නයක් කර ගන්නේ නැත. අතිමහත් වැඩි චන්ද ගණනාවකින් ඔවුන් මර්වින් ඇතුළු බලවේගය නැවත වතාවක් අනුමත කර තිබේ.

“මහත්හොරු” ලජ්ජාවෙන් ඇඹරුනාට රජතුමාට නම් එහෙම අමාරුවක් නැත. ආණ්ඩුවේ හෙළුව මර්වින් ලවා හෝ හදිසියේ එලි දක්වා ‍විනෝදයක් ලබන්නට අපට පෙනෙන හැටියට එතුමා ද කැමති ය.

Sittingnut ඇතුළු මහත්හොරුන් මේ ජවනිකාව ජුගුප්සාවෙන් හෝ නැරඹිය යුතු ය. ඒ මේ බලවේගයන්ට සහය දීම වෙනුවෙන් ගෙවන්නට තිබෙන බරපැනකි. එය අකමැත්තෙන් වුවද විද දරාගන්නවා හැරුණු කොට Sittingnut ලාට විසදුමක් නැත.

දුක තමාය. එහෙත් මොනවා කරන්න ද?

Posted in: Uncategorized