අල්ලපු ‍ගමේ මර්වින්ගේ රති කෙළි හා අති පාරිශුද්ධ ශ්‍රී ලාංකික රිදී තිරය

Posted on August 9, 2009



ඌව මැතිවරණය අවසන් ය. එහෙත් මැතිවරණ වේදිකා දෙවනත් කළ කුණු කටවල්වල දෝංකාරය තවමත් ඇසෙයි.

“මෝඩයෝ වුනාට ඒ බව පෙන්වන්න එපා.
මේක බෞද්ධ රටක්.

කට්ටියට blue film බලන්න බැරිවෙන එකට හරි upset වගේ.”

මෙම ප‍්‍රතිචාරය ඊයේ පෙරේදා අප ලදුයේ මුදියන්සේ මාමාගෙනි. ඒ අප විසින් ලියන ලද ප‍්‍රජනනය පාඩම තහනම් කළ යුතු ය යන සටහනට උත්තර වශයෙනි.

ඇත්තටම මෙය බෞද්ධ රටක් බව බො‍හෝ අය කියතත් අපට පෙනෙන්නේ මුදියන්සේ මාමා පමණක් නොව මේ රටේ වෙනත් උරුමක්කාරයින් ද එය තහවුරු කරන්නට හදන්නේ රිදී තිරය තුළ පමණක් බව ය.

මර්වින් සිල්වා මහතා ඊයේ අවසන්වූ ඌව මැතිවරණයේ වේදිකාවක දෙනෝදාහක් මැද කියා ඇති කතාවකින් අපේ අදහස සනාථ කර තිබේ. මැතිවරණ‍යේ කුණු කතා තවමත් දෝංකාර දෙනවා යයි අප කීවේ එබැවිනි.

එතුමා අප රටේ නායකයෙකි. ඇමැත්තෙකි. ඇත්තටම ළගදීත් මියන්මාර සංචාරයේ ජනාධිපති තුමා රැගෙන ගිය සීමිත කණ්ඩායමේ සමාජිකයෙකි. බොහෝ දෙනෙක්ගේ විරුද්ධත්වය මැද පවා කණ්ඩායම තුළ තබා ගත යුතු යැයි මහතැන්වලින් තීරණයක් ගෙන ඇති පුද්ගලයෙකි. ඒ නිසා එතුමා කියන දෙය විශේෂයෙන් ඌව පළාත් මැතිවරණ වේදිකාවක කියන දෙය රට ගැන අදහසක් අපට ලබා දේ.

මෙය දැන් අන්තර්ජාලයට ද එකතුව තිබේ.  අපගේ පාඨකයෙකු එවා තිබූ ඒ කතාවට මෙතැන එබීමෙන් පිවිසිය හැකි ය.

ඒ කතාවෙන් මර්වින් ඇමතිතුමා කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහට සිය බිරින්දෑ ගැබ්ගැන්වීමට බැරි වුව ද තමාට අවට ගම්වල ගෑණුන්ව පවා ගැබ්ගැන්වීමට හැකි ව ඇති බවත් උන්ට දාව දරුවන් ඉන්නා බව ත් ය. එතුමා නොකිව්වාට එතුමාගේ පැත්තේ ඉන්නා සෙසු නායකකාරකාදීන්ට ද ඒ සුදුසුකම තිබෙනවා යන්න එයින් නොකියවෙන තවත් අතුරු කතාවකි.

මුදියන්සේ මාමලා ද ඇතුළු මේ රටේ උරුමක්කාරයින් අකමැති රිදීතිරයේ ගෑණුන් සමග පිරිමි නිදාගන්නවා දැකීමට ය. එය බෞද්ධ රටකට ඔබින්නේ නැති බැවිනි. එහෙත් කසාද බැදපු මිනිහෙක් ඇත්තට ගමේ ගෑණුන් සමග පමණක් නොව අවට ගෑණුන් සමග නිදා ගැනීමෙන් නොනැවතී ඒවා ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රකාශ කිරීම ද බෞද්ධ රටකට ඔබී.

මුදියන්සේ මාමාට මෙන්ම බෞද්ධාගම රකින්නට අමුඩ ගසා ගෙන සැරසී සිටින බොහෝ දෙනෙකුට මර්වින් වැනි රටේ නායකයෙක් සැබෑ ජීවිතයේ කරන මෙම කෙරුවාවන්ගැන වගේ වගක් නැත.

ඇත්තටම අපේ කුණු එහෙමම තිබියදී කළ යුත්තේ රිදී තිරය පිරිසිදුව තබා ගැනීම නම් එය වැඩි අමාරුවක් නැතිව කළ හැකි වැඩකි. ඒ සදහා අවශ්‍ය වනුයේ කකුලක් උකුලක් ළමැදක් පස්සක් පෙන්වන චිත්‍රපටි වාරණය සදහා දිගට හරහට කැපිය හැකි මණ්ඩලයක් පත් කිරීම ය.

එයින් බෞද්ධකම රැකේ නම් අප ද ඒ සඳහා බකප් එකක් දීමට කැමති ය.

ඒ පිනෙන් මුදියන්සේ මාමාට නිවන් සුවත් අපට ගමේ වෙනත් ගෙවල්වලට පමණක් නොව අල්ලපු ගමේ ගෙදරකට වුව ගොඩ වදින්නට සුවත් ලැබෙනු ඇත්තේ ද?

අනේ සාදු! මේක බෞද්ධ රටක්! අවර කෙළිවලට ඉඩ ඇති මුත් රිදී තිර පාරිශුද්ධතාවය පණ මෙන් රකින!

Posted in: Uncategorized