පොලීසිය අපරාධ කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාෂයක් පිහිටුවයි!

Posted on August 6, 2009



ඒ දවස්වල පොලීසිය සතුව කොළඹ අපරාධ මර්දන කොට්ඨාෂයක් තිබුනේ ය. තවමත් එය තිබෙනවා ද යන්න පැහැදිලි නැතත් දැන් කොළඹ අපරාධ කොට්ඨාෂයක් ද ඇති කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

දිවයින ඒ ගැන මෙසේ වාර්ථා කර තිබිණි. “කොළඹ අපරාධ කොට්ඨාෂයේ බව කියන කණ්ඩායමක් පුතා පැහැරගෙන පහර දීලා”

අපරාධ මර්දන අංශයක් වෙනුවට අපරාධ අංශයක් පිහිටුවා ‍තිබෙන්නේ ඇයි?

එම අපරාධ අංශය විසින් කරන ලද එක් අපරාධයක් නම් මෙසේ මාලඹේ පිට්ටුගල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන නිපුන රත්නායක ශිෂ්‍යයා පැහැර ගෙන ගොස් පහර දීම ය.

ඔහු කර ඇති වැරැද්ද පොලීසියේ නිලධාරියෙකුගේ පුතෙකු සමග ආරවුලක් හදා ගැනීම ය. ඒ නිලධාරි‍යා ද වැඩ කරන්නේ මේ කී අපරාධ අංශයේ ය.

බලය පවරා ඇති අය එය භාවිතාකිරීමේ දී විශේෂයෙන් ප්‍රවේසම් විය යුතු තත්වයක දී ඔවුන්ම සාමාන්‍ය මිනිසුන්ට ද වඩා මුග්ධ ලෙස හැසිරේ නම් ඒ අවනඩුව කිව හැක්කේ කාට ද?

තමන්ගේ පෞද්ගලික වුවමනාවන් සදහා රාජකාරී බලය පාවිච්චි කිරීම අපරාධයකි. සුළු අපරාධයක් නොව මහ අපරාධයකි.

අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය නම් අපරාධ කිරීම සදහා මෙවැනි අංශයක් පොලිසිය විසින් පවත්වාගෙන යන්නේ මන්ද යන්න ය. රටේ අපරාධ මර්දනයට තිබෙන ආයතනයක් තුළම අපරාධ සිදුකිරීම සදහා අංශයක් පවත්වා ගෙන යන්නේ ඇයි ද යන්න ය.

‍අධිකරණය පැත්තක තිබියදී යුක්තිය පසිදලීම මහජනතාව, දේශපාලනඥයින් හා පොලීසියෙන් බාර ගැනීමේ බරපතල කම ගැන බොහෝ දේ ලියැවී ඇත.

එහෙත් දිගින් දිගට සිදුවෙමින් තිබෙන්නේ ද එය යි.

කසාපබ්බතට රාජ්‍ය නායකයාගේ පටන් ආරක්ෂක ලේකම් හරහා පොලිස්පති දක්වාම කොදු ඇට පරීක්ෂා කිරීමට නැවතත් අවස්ථාවක් ලැබී තිබේ.

නීතිය අතට ගෙන තමන්ගේ පුද්ගලික වුවමනා එපාකම් හා කෝන්තර පිරිමහ ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් මේ නඩය කුමක් කරනු ඇත් ද?

(කොන්දක් ඇත්නම් කරනු ඇත්තේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් නීති ප‍්‍රකාර ව දඩුවම් කිරීම ය)

තමන් කරන ආකාරයේම වැරදි සම්බන්ධයෙන්තමන් යටතේ සිටින්නන්ට දඩුවම් කිරීම පහසු නැත. කකුළුවා ඇදයට යන නිසා පැටවුන්ට කෙළින් යන්නටැයි කීමට බැරි ය. එහෙත් අපේ රටේ කකුළුවන් නම් එසේ කියන්නට පුළුවන.

ඒ පැටවුන්ට හරියට යන්නට නම් නොවේ. අපට ඇහෙන්නට ය.

Posted in: Uncategorized