මැදපෙරදිග යාම නිසා පවුල් අවුල්

Posted on August 4, 2009



මැද පෙරදිග යාම නිසා පවුල් අවුල්වන බැවින් පවුල් පන්සල් වූ අය මැදපෙරදිග යෑම වළක්වමින් නීති ගෙනෙන බව කීවේ අදාළ අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල ය.

ප්‍රශ්න විසදන ක්‍රම වේදය හරි අපූරු ය. සරල ය. ඇත්තටම සිම්පල් ය. ඒ ‍වගේ ම විශ්මයජනක ය.

අපගේ කාළකන්නි කමක මහත!

ආදායම් ලබන සියලු දේ තහනම් කිරීමට නියමිත ය.

එකක් මත ය. සිගරැට් හා මත්පැන්වලින් රජය ලබන ආදායම මුලු අදායමින් සියයට 12 කි. දැන් එයට තිත තියන්නට අප තීරණය කර හමාර ය.

විදේශ විනිමය ඉපැයීම අතින් අංක එකට තියෙන්නේ මේ මැද පෙරදිග රැකියා අවස්ථා ය. පවුල් අවුල් නැති කිරීම සදහා තිත තැබිය යුතු යයි දැන් අදුනා ගෙන තියෙන්නේ ද එයයි.

මේවා හානිකර බවට විවාදයක් නැත. එහෙත් ඒවාට තිත තැබීමට තරම් පුලුවන් කමක් අපට තිබේ ද?

මේවාට තිත තබන්නට යන්නේ ඇත්තටම ද? නැත්නම් කට වාචාල කමට ද? නරිවාදන් අන්තිමට රෙද්ද පල්ලෙන් බේරෙනු ඇත් ද?

තහනම් කිරීමෙන් ඔය තිත තබන්නට ඇත්තටම පුලුවන් ද?

එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල මොනවා ද? ජනතාවට සපයන විකල්ප මොනවාද? රජය ආදායම සදහා ගන්නා විකල්ප පියවර කවරේ ද?

ඒවා ගැන වගේ වගක් නැතිව කටින් තිත තබන්නට පුලුවන් ද? තහනම් කරනවා හැරෙන්නට වෙනත් නිර්මාණාත්මක යමක් කරන්නට මේ ආණ්ඩුවට හා උන්ගේ ගෝලබාලයින්ට බැරි ද?

එකක් කඩතොලු මකන්නට ගොස් දහස් කඩතොලු හදගත්තා යැයි කියන ඉදුරුවේ ආචාරියා මෙන් අප හැසිරෙමින් සිටිමු ද? මේවා කියන්නේ කාට ද? දේශප්‍රේමීන්ට ද?

Posted in: Uncategorized